June 22, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන ජූලි මස 31 වැනිදා හෝ ඊට පෙර පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව නැවත වරක් අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ අවදානමකට මුහුණ දෙනු ඇතැයි අයි.සී.සී.ය අවධාරණය කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී අයි.සී.සී. සභාපතිවරයා මේ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දැඩි අකමැත්ත පළකර ඇති ජේ ෂා, නියමිත කාලසීමාවට පෙර නිලවරණය පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මීට පෙර 2023 වසරේදී ද මෙවැනිම හේතුවක් මත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අයි.සී.සී.ය පියවර ගෙන තිබිණි.

‘ෆිට්ස්එයාර්’ ගුවන් සේවය මඟින් අහමදාබාද් සහ කොළඹ අතර ආරම්භ කළ සමාරම්භක ගුවන් ගමනින් මෙරටට පැමිණි ජේ ෂා, ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත්කරන ලද නව අතුරු කමිටුව (පරිවර්තන කමිටුව) පිළිබඳව ද අවධානය යොමුව තිබේ.

මෙම කමිටුව සඳහා කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම වැනි හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ද ඇතුළත් වේ.

ක්‍රීඩකයන්ගෙන් එල්ල වූ පැමිණිලි සහ කරුණු සැලකිල්ලට ගනිමින් හිටපු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුම් දී තිබිණි.

ඉන් අනතුරුව ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යාංශය එහි පාලනය තාවකාලිකව භාරගෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම සහ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා මෙම අතුරු කමිටුව පත්කරන ලදී.

කෙසේවෙතත්, ක්‍රිකට් පාලක මණ්ඩල දේශපාලන පාලනයෙන් නිදහස් විය යුතු බවට වන ‘බාහිර මැදිහත් නොවීමේ’ ප්‍රතිපත්තිය අයි.සී.සී.ය තදින්ම අනුගමනය කරයි.

2023 වසරේ ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් එවකට පැවති ආණ්ඩුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කළ අවස්ථාවේදී ද, රජයේ මැදිහත්වීම් සිදුව ඇති බව පවසමින් අයි.සී.සී.ය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තහනම් කළ අතර පසුව 2024 ජනවාරි මාසයේදී එම තහනම ඉවත් කරනු ලැබීය.

(උපුටාගැනීම – Daily Mirror පුවත්පත)