May 19, 2026

ඊශ්‍රායල බලධාරීන් විසින් රඳවා ගනු ලැබූ බව කියන ගාසා තීරය බලා යාත්‍රා කළ Global Sumud Flotilla ආධාර නෞකා කණ්ඩායමේ සාමාජිකාවක වූ සමීරා මෙහ්බූබ්දීන් නමැති ශ්‍රී ලාංකික කාන්තාවගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මෙහ්බූබ්දීන්ගේ වත්මන් තත්ත්වය තහවුරු කරගැනීමට, ඇයගේ ආරක්ෂාව සහතික කිරීමට සහ ඇයව රඳවා තබා ගැනීමේ නීතිමය හා ක්‍රියාපටිපාටි පරික්ෂා කිරීම සඳහා කොන්සියුලර් ප්‍රවේශය ලබාදෙන ලෙස ටෙල් අවිව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිල වශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

“ගාසා තීරය බලා යාත්‍රා කළ ආධාර නෞකා කණ්ඩායමේ සිටි බවට වාර්තා වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන සමීරා මෙහ්බූබ්දීන් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවෙනවා. අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව, මෙම නෞකා කණ්ඩායම ඊශ්‍රායල බලධාරීන් රඳවා තබා ගෙන ඇති අතර, එහි සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. අමාත්‍යාංශය මේ වන විටත් අදාළ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ පියවර ගෙන තිබෙනවා. ටෙල් අවිව් හි පිහිටි අපගේ තානාපති කාර්යාලය සමීරා වෙත කොන්සියුලර් ප්‍රවේශය ලබාදෙන ලෙස ඊශ්‍රායල බලධාරීන්ගෙන් නිල වශයෙන් ඉල්ලා තිබෙනවා. මෙම ඉල්ලීමේ අරමුණ ඇයගේ වත්මන් තත්ත්වය තහවුරු කරගැනීම, ආරක්ෂාව සහ සුවදුක් විමසා බැලීම මෙන්ම ඇයව රඳවා තබා ගැනීමට අදාළ නීතිමය සහ ක්‍රියාපටිපාටික ක්‍රියාවලිය පරික්ෂා කිරීමයි.”

නෞකා කණ්ඩායම වැටලීමේ සිදුවීම සම්බන්ධයෙන් රජය කල්තියා නිගමනවලට එළඹීමට අදහස් නොකරන බවත්, එහෙත් මෙම කරුණ පිළිබඳව දිගින් දිගටම සමීපව නිරීක්ෂණය කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.