November 3, 2026

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළෙඳ, බලශක්ති, සංචාරක සහ ආයෝජන යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අවස්ථා පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, පාර්ලිමේන්තු කථානායක ජගත් වික්‍රමරත්න සහ ඉස්තාන්බුල් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අයිඩින් ඔසු අතරයි.

පාර්ලිමේන්තු නිවේදනයකට අනුව, ඔක්තෝබර් 29 වැනි දින පැවැති මෙම සාකච්ඡාවේදී නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.

මෙම හමුවේදී අදහස් දක්වමින් කථානායක ජගත් වික්‍රමරත්න සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය කරා සාර්ථකව ළඟා වෙමින් පවතින බවයි. රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ වැදගත්කම ද ඔහුමෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, තුර්කිය සමඟ පවතින ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමටත් කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහ තුර්කිය සමඟ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කරමින් වසර 30 ක් පුරා සිදු කළ මෙහෙවර වෙනුවෙන් කථානායකවරයා අයිඩින් ඔසු වෙත සිය ප්‍රශංසාව සහ කෘතඥතාව පළ කළේය.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දැක්වූ අයිඩින් ඔසු, තුර්කිය තුළ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට සහ දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කළේය. තවද, ශ්‍රී ලංකාව සමඟ තමාට පවතින දිගුකාලීන පෞද්ගලික හා වෘත්තීය සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකාව තමාගේ “දෙවැනි නිවස” ලෙස සලකන බව ද ඔහු සිහිපත් කළේය.

මෙම වැදගත් හමුව සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් නළ මාර්ගගත ගබඩා පර්යන්තයේ සභාපති ජනක රාජකරුණා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.