November 3, 2026

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විස්සයි-20 සංචිතය තේරීමේදී තරුණ ක්‍රීඩකයන්ට ප්‍රමුඛතාව ලබාදීම හේතුවෙන්, තම මව්බිමේදී සමුගැනීමේ තරගයකට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව අහිමි වීමත් සමඟ, ප්‍රහාරාත්මක තුන්ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් අඟහරුවාදා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

ඔහුගේ පරම්පරාවේ සිටි වඩාත්ම දක්ෂ පිතිකරුවකු වන මැක්ස්වෙල්, එක්දින අන්තර්ජාතික තරග 149 කට, විස්සයි-20 අන්තර්ජාතික තරග 130 කට සහ ටෙස්ට් තරග 7 කට ක්‍රීඩා කරමින් ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වසඟයට පත්කළේය.

ඔහුගේ වේගවත් ලකුණු රැස්කිරීම සහ සම්ප්‍රදායික නොවන පාරවල් පහරදීමේ රටාව නිසා ඔහුට The Big Show යන අන්වර්ථ නාමය පටබැඳි අතර, 2015 සහ 2023 එක්දින ලෝක කුසලාන ජයග්‍රහණ මෙන්ම 2021 විස්සයි-20 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහාද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල දායකත්වයක් ලබාදුන්නේය.

“මම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් වගේම වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන පන්දුවාර 50 සහ රතු පන්දු (දින 4) දේශීය තරගවලිනුත් සම්පූර්ණයෙන්ම සමුගැනීමට තීරණය කළා” යැයි 38 හැවිරිදි වියෙහි පසුවන මැක්ස්වෙල් අඟහරුවාදා නිකුත් වූ ‘The Final Word’ පෝඩ්කාස්ට් වැඩසටහනට අදහස් දක්වමින් පැවසීය.

“මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරිව තියෙන තරගාවලි කිහිපය සාර්ථකව නිමාකිරීමට හැකි වන පරිදි මගේ ශරීරයේ සෞඛ්‍යය සහ ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට කාලය පැමිණ තියෙනවා.”

එක්දින තරගවලදී ලකුණු 3,990 ක් සහ විස්සයි-20 තරගවලදී ලකුණු 2,897 ක් රැස්කර ඇති මැක්ස්වෙල්, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අවසන් වරට ක්‍රීඩා කළේ පසුගිය පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ඕමානයට එරෙහිවය.

ඉන්දියාවේ රෝහිත් ශර්මාට අමතරව විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ශතක 5 ක් රැස්කර ඇති එකම ක්‍රීඩකයා වන්නේද මැක්ස්වෙල් වන අතර, ඔහු තම දඟපන්දුවෙන් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කෙටි තරග රටාවලදී කඩුලු 128 ක්ද දවාගෙන ඇත.

පසුගිය වසරේදී එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් මැක්ස්වෙල්ට, මේ මාසයේදී එංගලන්තයට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී අන්තර්ජාතික සමුගැනීමේ තරගයකට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබුණද, සඳුදා නිවේදනය කළ ඕස්ට්‍රේලියානු සංචිතයත් සමඟ එම බලාපොරොත්තුව ගිලිහී ගියේය.

“මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී සමුගැනීමේ තරගයක් ලබාගැනීමට මට යම් කුඩා බලාපොරොත්තුවක් හෝ සාකච්ඡාවක් තිබුණා. නමුත් තේරීම් කමිටුව මෙම සංචිතය සමඟ ඉදිරියට යන ආකාරය මට හොඳින් තේරුම් ගන්න පුළුවන්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.