March 12, 2026

Clean Sri Lanka වැඩසටහන සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ආබාධිත පුද්ගලයන් සඳහාම වෙන් වූ ප්‍රමුඛතා බස් සේවාවක් ලබන මාසයේදී මෙරට තුළ ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ මෙතෙක් රටේ පොදු ප්‍රවාහන පද්ධතිය තුළ සීමිත අවධානයක් යොමු වී ඇති ආබාධිත පුද්ගලයන්ගේ සංචලන අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමයි.

රුපියල් මිලියන 430.7ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් පොදු ප්‍රවාහනයේ පවතින භෞතික බාධක ඉවත්කර, ආබාධිත පුද්ගලයන්ට ස්වාධීනව සහ ආරක්ෂිතව ගමන් කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහි පළමු අදියර යටතේ, රෝද පුටු භාවිත කරන්නන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි නිර්මාණය කරන ලද නවීන පහත් තට්ටුවක් සහිත (low-floor), වායුසමනය කළ බස් රථ 10ක් මාර්තු 10 වන දින හම්බන්තොට වරායට රැගෙන එන ලදී.

මෙම බස් රථ සෙනසුරාදා කොළඹට ප්‍රවාහනය කර නිල වශයෙන් ‘මෙට්‍රෝ’ සමාගමට භාරදීමට නියමිතය.

එක් බස් රථයක ආසන 33ක් පවතින අතර මගීන් 80ක් දක්වා රැගෙන යා හැකිය.

එමෙන්ම රෝද පුටු භාවිත කරන්නන් සඳහාම සකස් කරන ලද විශේෂිත ආරක්ෂක පද්ධතිවලින්ද මෙම බස් රථ සමන්විත වේ.

මෙම සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරේ.

උදෑසන සහ පස්වරුවේ මාකුඹුර–පිටකොටුව සහ මාකුඹුර–කඩවත යන මාර්ගවල සෑම විනාඩි 40කට වරක් මෙම බස් රථ ධාවනය වනු ඇත.

මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන ආවරණය වන පරිදි මෙම ගමන් මාර්ග සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 28 දෙනකු සමාජ සේවා අමාත්‍යාංශය මගින් ලබාදෙන විශේෂ පුහුණුවකට යොමුකෙරෙනු ඇත.

බස් රථ තාක්ෂණය, මගී ආරක්ෂාව, වෘත්තීය ආචාරධර්ම, මගී සත්කාරය සහ ආබාධිත මගීන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා මූලික සංඥා භාෂාව සම්බන්ධයෙන් එහිදී ඔවුන් දැනුවත්කෙරෙනු ලැබේ.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව, ප්‍රවේශ විය හැකි පොදු ප්‍රවාහන සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අගෝස්තු මාසයේදී තවත් බස් රථ 100ක් ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයට අනුව Clean Sri Lanka වැඩසටහන මගින් බස් නැවතුම්පොළවල් ආබාධිත පුද්ගලයන්ට හිතකාමී වන පරිදි ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට හෝ අලුතින් ඉදිකිරීමටද සැලසුම් කර ඇත.