June 26, 2026

2023 වසරේදී සිදු වූවා යැයි පැවසෙන අල්ලස් සිදුවීමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරන්නේ, චරිත් අබේසිංහ, සමගි ජන බලවේගය තුළ දැරූ සියලුම තනතුරු සඳහා මෙම තහනම වහාම බලපැවැත්වෙන බවයි.

එම නිවේදනය මඟින් පක්ෂය වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, මෙම කියනු ලබන අල්ලස් සිදුවීම සිදු වූවා යැයි පැවසෙන 2023 වසරේදී, චරිත් අබේසිංහ සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු, සංවිධායකවරයෙකු හෝ නිලධාරියෙකු ලෙස කටයුතු කර නොමැති බවයි.

දූෂණ හෝ නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් කිසිවිටෙකත් විරුද්ධ නොවන බව සමගි ජන බලවේගය අවධාරණය කර තිබේ.