June 27, 2023

සිය සේවා කාලය ඊයේ (26) දිනයෙන් අවසන් වූ වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට තවත් සේවා කාලයක් ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

මෙම වසර මුලදී විශ්‍රාම පත්‍රිකා ඉදිරිපත් කළ පොලිස්පතිවරයාට, ජනාධිපති සහ ආරක්ෂක ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් මාස තුනක සේවා දිගුවක් ලබා දුන් අතර, එය ඊයේ දිනයෙන් අවසන් විය.

පොලිස්පති ධූරය සඳහා නාමයෝජනා පාර්ලිමේන්තු කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ (CC) සභාපති මහින්ද යාපා අබේවර්ධන වෙත ලැබී තිබේද යන්න පිළිබඳව විමසූ විට ඔහු සඳහන් කර ඇත්තේ, තවමත් නාමයෝජනා ලැබී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලකද සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පොලිස්පතිධූරය සඳහා නාමයෝජනා ලැබී ඇත්නම් ඒ පිළිබඳව සළකා බැලීමට හදිසි රැස්වීමක් කැඳවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

නාමයෝජනා නොලැබීම වත්මන් පොලිස්පතිවරයාගේ තවත් සේවා කාලයක් ගැන ඉඟි කරන බවත්, කෙසේ වෙතත් එසේ සේවා කාලයක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අවසර ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නැති බවත්, එම සභාවේ සාමාජිකයෙක් පැවසීය.

අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ඉල්ලා අස්වන ලෙස 2019 අප්‍රේල් 26 වැනිදා එවකට ජනාධිපති සහ වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන නියෝග කළේය.

ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළ පසු ඔහු අනිවාර්ය නිවාඩු යැවූ අතර, ඉන්පසුව චන්දන ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කළේය.

ඔහු 2020 නොවැම්බර් 25 වැනිදා පොලිස්පතිවරයා ලෙස ස්ථිර කරනු ලැබීය.

(The Morning)