August 18, 2023

චීනය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට සමඟ එක්ව කටයුතු කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන චීන රජයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය සඳහා හොඳම රටවල් 20 අතරට ඇතුළත් කරමින් චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් මෙම වසරේ පෙබරවාරි මාසයේදී කරන ලද නිවේදනයට ඔහු එහිදී ස්තුතිවන්ත වී ඇත.

එමෙන්ම මෙම සියවස ආසියාවට අයත් බව අමතක නොකළ යුතු බවත්, මෙය ආසියාවේ ශතවර්ෂය බවත්, ඔහු සඳහන් කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා චීනය ලබාදුන් සහයෝගය පිළිබඳව අගමැතිවරයා චීනයට ස්තුති කර ඇත.

ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රකෘතිය සඳහා චීනය අනාගතයේ දී අඛණ්ඩ සහයෝගීතාව ලබාදෙනු ඇතැයි විශ්වාස බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව කුන්මිං හිදී සංවිධානය කරන ලද 07 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැතිවරයා සහභාගී විය.

ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාව චීන සංචාරකයන් 29,924ක් පිළිගෙන ඇති අතර, 2022 එම කාලසීමාව තුළ 1,850ක් පමණක් පැමිණ තිබේ.

සංචාරක කර්මාන්තයේ ඉපැයීම ජූලි මාසය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක් ඉක්මවා ගොස් ඇත.

මහ බැංකුවේ තාවකාලික දත්තවලට අනුව වසරේ මුල් මාස හත සඳහා සංචාරක ඉපැයීම් ඇ.ඩො. බිලියන 1.094ක් වූ අතර, එය 2022 වසරේ මෙම කාලපරිච්ඡේදය හා සසඳන විට සියයට 43.1ක වර්ධනයකි.

නවතම සංචාරක සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත්තේ, ජනවාරි 01 සිට අගෝස්තු 10 දක්වා ශ්‍රී ලංකාව මුළු අන්තර්ජාතික නරඹන්නන් 819, 507 ක් පිළිගෙන ඇති බවයි.