October 18, 2026

එයාර්බස් අල්ලස් සිද්ධියට අදාළ නඩුවේ හතරවන විත්තිකරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම තුන්වන වරටත් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ ලබන ඔක්තෝබර් 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මීට අමතරව, නඩුවේ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන, බෲනායි හි ලියාපදිංචි බිස් සොලූෂන්ස් සමාගම මෙම නඩුවේ පස්වන සැකකරු ලෙස නම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් දූෂණ විරෝධී පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන ලද විමර්ශන මේ වන විට අවසන්ව ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සමග කරුණු දක්වමින් අධිකරණයට දැනුම් දුන්නේය.

අල්ලස් කොමිසම සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශන දෙකට අදාළව සැකකරුවන්ට එරෙහිව එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව ද ඔහු පැවසීය. එමෙන්ම, මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටීමට නීතිපතිවරයා බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවේන්ද්‍ර ප්‍රනාන්දු තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විමර්ශන කටයුතු අවසන්ව ඇති බවත්, සිය සේවාදායකයාගේ මව්පියන් දෙදෙනාම රෝගාතුරව රෝහල්ගත කර සිටින බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, නඩුවට අදාළව අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට කටයුතු යොදමින් පවතින බැවින් ඇප ඉල්ලීම සලකා බැලීමට මැදිහත් නොවන්නැයි ඉල්ලමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් බණ්ඩාර ඇප ලබාදීමට විරෝධය පළ කළේය.

ඇප ඉල්ලීම තහවුරු කිරීමට අවශ්‍ය අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඇප ලබා නොදෙන බව ප්‍රකාශ කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සියලු සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ කඩිනමින් අධිචෝදනා පත්‍ර ගොනුකරන ලෙස නියෝග කළේය.