March 22, 2026

ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ දෙවැනි වරටත් පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවෙන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු ප්‍රවාහන සංගමය අද(22) අම්බලන්ගොඩදී පැවති ජනමාධය හමුවකදී පැවැසීය.

එහිදී දෙවැනිවර ද පළමු වර මෙන් සියයට දහයකින් පාසල් සිසු පවාහන ගාස්තු වැඩිකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු පවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් කීවේය.

මේ මාසයේදීම ඉන්ධන මිල පළමුවර ඉහළ දැමීමට සමගාමීව සිය සංගමය පාසල් සිසු ප්‍රවාහන ගාස්තුව සියයට දහයකින් වැඩිකළ බවත්, නැවත දෙවැනිවරට ඉන්ධන මිල ඉහල දැමීමට සමගාමීව පාසල් සිසු පවාහන ගාස්තුව සියයට දහයකින් වැඩි කරන බවත්, එසේ වැඩිකරනු ලැබු සිසු පවාහන ගාස්තු අය කරනුයේ මැයි මාසයේදී බවත් හෙතෙම කීය.

තෙල් සංචිත දින තිස්හතරකට තිබෙනවා යයි කියමින් රජය කියූ දින තිස්හතර ඉක්ම යාමටත් පෙර දෙවතාවක්ම දැරිය නොහැකි මිලකින් ඉන්ධන මිල වැඩිකිරීම සිය සංගමය කිසිසේත්ම අනුමත නොකරන බවත්, රජය බොරු කියමින් සහ බොරු කරමින් ඉන්ධන මිල වැඩිකරමින් පාසල් සිසුන්ගේ මාපියන් දැඩි අසීරුතාවයට ලක්කිරීම නොඉවසිය හැකි කාරණාවක් බවද හෙතෙම කීවේය.