September 24, 2026

2019 පාස්කු ඉරිදා සිදු වූ ඛේද­නීය ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් පසු­ගි­යදා දුන් නඩු තීන්දුව සත්‍යය සහ සාධා­ර­ණ­ත්වය සොයා යන දීර්ඝ ගමනේ එක් පිය­ව­රක් පම­ණක් බවත්, ප්‍රහා­රය පිටු­පස සිටි සැබෑ කුම­න්ත්‍ර­ණ­ක­රු­වන් සහ ‘මහමොළ­ක­රු­වන්’ නීතිය හමු­වට පමු­ණු­වන තෙක් කතෝ­ලික සභාව ආරම්භ කළ අර­ග­ලය කිසි­සේත්ම නතර නොක­රන බවත් කොළඹ අග­ර­ද­ගුරු පද­වියේ මාධ්‍ය ප්‍රකා­ශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පිය­තුමා අව­ධා­ර­ණය කරයි. මේ සම්බ­න්ධ­යෙන් ‘දින­මි­ණට’ අද­හස් දක්ව­මින් සිරිල් ගාමිණී පිය­තුමා සඳ­හන් කර ඇත්තේ, ජනමාධ්‍ය විසින් මෙය ‘පාස්කු මහ නඩුව’ ලෙස හැඳි­න්වු­වද, මෙය පාස්කු ප්‍රහා­ර­යට අදා­ළව විභාග වන සිය ගණ­නක් වූ නඩු අත­රින් එකක් පම­ණක් බවයි.

මෙම තීන්දුව මඟින් සහ­රාන්ගේ අන්ත­වාදී මත­වා­දය සහ ඊට ක්ෂේත්‍ර මට්ට­මින් සම්බන්ධ වූ පිරිස පිළි­බඳ කරුණු තහ­වුරු වුවද, ප්‍රහා­රය මෙහෙ­යවූ දේශ­පා­ලන හෝ වෙනත් පසු­බිම් කුම­න්ත්‍ර­ණය අනා­ව­ර­ණය වී නොමැති බව පිය­තුමෝ පෙන්වාදෙති.

ඉදිරි නෛතික සහ විම­ර්ශ­නා­ත්මක ක්‍රියා­මාර්ග පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් සිරිල් ගාමිණී පිය­තු­මන් සඳ­හන් කර ඇත්තේ, සහ­රාන් ඇතුළු කණ්ඩා­යම මෙහෙ­යවූ, ප්‍රහා­රය පිටු­පස සිටි සැබෑ ‘මහමොළ­ක­රු­වන්’ සොයා ගැනීමේ විම­ර්ශන කෙරෙහි ඉදි­රි­යේදී ප්‍රධාන අව­ධා­නය යොමුකළ යුතු බවයි.

එතුමන්ට අනුව චැනල් 4 අනා­ව­රණ, හමුදා බුද්ධි අංශ­වල ඇතැම් මැදි­හ­ත්වීම් සහ අත්අ­ඩං­ගු­වට ගැනීම් වැළැ­ක්වීම් පිළි­බ­ඳව දැනට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව (CID) කරන විම­ර්ශ­න­වල යම් ප්‍රග­ති­යක් පෙනෙ­න්නට ඇති බැවින්, එම­ඟින් සත්‍යය හෙළි­වන තෙක් නීති­මය මැදි­හ­ත්වීම අඛ­ණ්ඩව කළ යුතුව තිබේ.

පාස්කු ප්‍රහා­ර­යට සම්බන්ධ නඩු­වක සැක­ක­රු­වකු වන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ දීර්ඝ කාල­යක් රෝහ­ල්ග­තව සිටීම සම්බ­න්ධ­යෙන් නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව මතු කළ ‘වෛද්‍ය කුම­න්ත්‍ර­ණය’ පිළි­බඳ සැකය හමුවේ, අධි­ක­ර­ණය නියෝග කර ඇති වෛද්‍ය වාර්තා හරහා සත්‍යය එළි­දැ­ක්වෙනු ඇතැයි අපේක්ෂා කරන බවද පිය­තුමෝ අව­ධා­ර­ණය කරති.

අධි­ක­රණ තීන්දු හෝ දඬු­වම් පිළි­බ­ඳව යම් පාර්ශ්ව­ය­කට සෑහී­මක් පත්වන්නේ නැත්නම්, සමාජ මාධ්‍ය හරහා විවේ­ච­නය නොකර ඉහළ අධි­ක­ර­ණ­ය­කට ඇපෑ­ලක් ඉදි­රි­පත් කිරීමේ නීති­මය අයි­තිය භාවිත කළ යුතුය.

පාස්කු ප්‍රහා­රයේ නඩු ඇතු­ළුව රටේ ප්‍රමාද වන සිය­ලුම නඩු කට­යුතු කාර්ය­ක්ෂ­මව විභාග කර වින්දි­ත­යන්ට ඉක්ම­නින් යුක්තිය ඉටු කිරීම සඳහා නීත්‍ය­නු­කූ­ලව ගෙන එන ව්‍යව­ස්ථා­පිත සංශෝ­ධන අනු­මත කරන බවද පිය­තුමෝ අව­ධා­ර­ණය කරති.

අහිං­සක ජීවිත 250කට අධික සංඛ්‍යා­වක් බිලි­ගත් මෙම ඛේද­නීය සිදු­වීමේ සත්‍යය හෙළිකර­ ගැ­නීම පළි­ගැ­නී­මක් නොව, නැවත මෙවැනි විනා­ශ­යක් රට තුළ සිදුවීම වැළැ­ක්වීමේ එකම මඟ බව පෙන්වාදෙන සිරිල් ගාමිණී පිය­තු­මෝ, සත්‍යය සහ සාධා­ර­ණ­ත්වය උදෙසා කෙරෙන මෙම දීර්ඝ අර­ග­ල­යේදී ඉව­සී­මෙන් සහ විශ්වා­ස­යෙන් යුතුව කතෝ­ලික සභාව සමඟ එකතු වී සිටින ලෙස සමස්ත ජන­තා­ව­ගෙන් සහ වින්දිත පවු­ල්ව­ලින් ඉල්ලා සිටි­ති.