August 3, 2026

තමන් ආණ්ඩුවට එක්වීමට නියමිත බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ, එම ආරංචිවල කිසිදු සත්‍යතාවක් නොමැති අතර, ආණ්ඩුව තමන් වැනි පුද්ගලයන් අපේක්ෂා කිරීම පිළිබඳ සතුටු වන බවයි.

“මා අනුගමනය කරන්නේ වෙනස්ම ආකාරයේ දේශපාලනයක්. හොඳ දේ අගය කිරීමටත්, වැරදි දේට විරුද්ධ වීමටත් මා කිසිවිටෙකත් පසුබට වන්නේ නැහැ.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස එහි ගෞරවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තමන් සෑම විටම කටයුතු කරන බවත්, තමන් වැඩකරන ආකාරය පිළිබඳ අප්‍රසාදයෙන් පසුවන පිරිසක්ද සිටින බව තමන් දන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘සුව සැරිය’ ගිලන්රථ සේවයේ 10 වැනි සංවත්සරය සලකුණු කරමින් පැවැති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ ආචාර්ය හර්ෂ ද සිල්වා එකට අසුන්ගෙන සිටිනු දක්නට ලැබුණු අතර, එම සිදුවීමත් සමඟ මෙම පක්ෂ මාරුව පිළිබඳ කටකතා ප්‍රබල ලෙස පැතිර ගොස් තිබිණි.