February 26, 2024

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද පවත්වා ඇත.

එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගිය පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුණු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග මින් පෙර සාකච්ඡා කරන ලදී.

එහි තවත් පියවරක් ලෙස සමගි ජන බලවේගය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් මෙලෙස අද (26) සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

විශේෂත්වය වන්නේ මෙම සාකච්ඡාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවීමයි.

මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන අය ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලක, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන අයද එක්ව සිටියහ.