October 26, 2026

මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ රථවාහන වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ බලය නිල ඇඳුමින් සැරසී සිටින සියලුම පොලිස් නිලධාරීන්ට හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසීය.

රථවාහන නීති බලාත්මක කිරීමේ බලය රථවාහන පොලිසියට අනුයුක්ත නිලධාරීන්ට පමණක් සීමා වී නොමැති බව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටි අතර, තනිව රාජකාරි කරන අවස්ථාවලදී පවා රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඕනෑම නිල ඇඳුම්ලාභී පොලිස් නිලධාරියකුට හැකියාව ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.

රථවාහන වැරදිකරුවන්ට එරෙහිව පියවර ගැනීමට පොලිස් නිලධාරීන්ට ඇති බලය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරී වුට්ලර් ජනමාධ්‍ය ඇමතීමේදී මෙම අදහස් පළකළේය.