June 25, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමගි ජන බලවේගය හොරණ සංවිධායක චරිත් අබේසිංහට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂනායකයා පැවසුවේ වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට සමගි ජනබලවේගය තුළ ‘ඉඩක්‘ නොමැති බවයි.

“අපි අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා.අපේ පක්ෂයේ වැරදිකරුවන්ට, අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක්, තැනක් නැහැ,” ඔහු පැවසීය.

හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාපක්ෂගේ පුත් නීතිඥ රක්ඛිත රාජපක්ෂ, සමගි ජනබලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන අය අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ 5000ක අල්ලසක් ඉල්ලා ඉන් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්ෂ 1200ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව යටතේය.

අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා යන අයගේ ජීවිතය ආරක්ෂා කර දීම සඳහාත්, (සාතනය කිරීම වැළැක්වීම සඳහාත්), ඉහත සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සඳහාත්, විමර්ශන කටයුතු වලින් සහ ඊට අදාල කටයුතු වලින් නිදහස් කර දීම සඳහාත්, අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී, ඉහත සැකකරුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් මෙම අල්ලස ලබා ගෙන ඇත.