September 28, 2026

ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත්ව තිබේ.

ග්ලාස්ගෝ හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දිනාගත් රන් පදක්කමට පසුව, මෙම ජයග්‍රහණයත් සමග රුමේෂ් තරංගගේ සාර්ථක 2026 තරග වාරයට තවත් දැවැන්ත අන්තර්ජාතික ජයග්‍රහණයක් එකතු විය.

දැනට පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ස්ථානයේ පසුවන පතිරගේ, පසුගිය ජූනි මාසයේ පැවැති රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62ක දක්ෂතාවක් දක්වමින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම ශ්‍රී ලංකා වාර්තාව ද තැබීමට සමත් විය.

මෙම වසර තුළ තැබූ වාර්තාගත දක්ෂතා රැසකින් පසුව, ඔහු ආසියානු ක්‍රීඩා උළෙලට එක්වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් බලාපොරොත්තු තැබිය හැකි ප්‍රධානතම ක්‍රීඩකයකු ලෙසිනි.