August 3, 2026

ඉඟිනියාගල පොලිස් ස්ථානයට විවිධ සේවාවන්ගෙන් ආදායම් ලෙස ලැබුණු රුපියල් 290,000 කට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත එම පොලිස් ස්ථානයේම රාජකාරි කළ කාන්තා පොලිස් සැරයන්වරියක් අම්පාර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය මගින් සිදු කළ අභ්‍යන්තර විගණනයකදී මෙම මූල්‍ය අක්‍රමිකතාව අනාවරණය වී ඇත.

ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ලබා දීම ඇතුළු විවිධ සේවාවන් මගින් පොලිසියට ලැබෙන ආදායම් මුදල් අම්පාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිල ගිණුමේ තැන්පත් කළ යුතු වුවද, සැකකාරිය එම මුදල් බැර නොකර වංචා කර ඇති බව විගණනයේදී තහවුරු වී තිබේ.

අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජීව වෙදමුල්ලගේ උපදෙස් මත, අම්පාර කොට්ඨාස වැඩබලන සහකාර පොලිස් අධිකාරී (1) සම්පත් වික්‍රමරත්නගේ අධීක්ෂණය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසූරිය මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකාරිය අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.