September 23, 2026

ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතයෙන් ධාවනය වන බවට අනාවරණය වන බස් රථවල මාර්ග බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබේ.

කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ වාහන දුම් පරීක්ෂා කිරීමේ වැඩසටහන එක්ව රාත්‍රී කාලයේදී සිදු කළ විශේෂ පරීක්ෂාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

මෙම පරීක්ෂාවේදී බස් රථවල ධාවන යෝග්‍යතාව සහ දුම් පිටවීම පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී පරීක්ෂා කළ බස් රථ 59 න් 39 කටම නඩත්තු නියෝග නිකුත් කිරීමට නිලධාරීන් පියවර ගෙන ඇත. දහවල් කාලයේ ධාවනය නොවෙමින් සාමාන්‍ය පරීක්ෂණවලින් මගහැරී සිටින බස් රථ ඉලක්ක කරගනිමින් මෙම විශේෂ රාත්‍රී මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර, කිලිනොච්චිය ප්‍රදේශයේ ධාවනය වන බස් රථවල ධාවන යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ තවත් විශේෂ වැඩසටහනක් ද වාහන දුම් පරීක්ෂා කිරීමේ වැඩසටහන මගින් ඊයේ සිදුකර ඇත.

මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ පරිසරය සුරැකීම අරමුණු කරගනිමින් ධාවනයට නුසුදුසු බස් රථ හඳුනාගැනීම සඳහා මෙම විශේෂ පරීක්ෂණ ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.