August 4, 2026

මෙරට මෑතකදී සිදුවූ ආන්දෝලාත්මක බරපතල ගණයේ රිය අනතුරු බොහොමයකට හේතුව වාහනවල පැවැති කාර්මික දුර්වලතා බව මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය වන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලයීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකා වාහනවල ධාවන යෝග්‍යතාව (Fitness Condition) පරීක්ෂා කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ සඳහා නෛතික ප්‍රතිපාදන හඳුන්වාදෙමින්, මෝටර් වාහන පනතේ (203 වැනි අධිකාරය) ප්‍රතිපාදනවලට අනුකූලව 2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝග, අංක 2489/22 දරන 2026 මැයි 19 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එලෙස ප්‍රකාශයට පත්කරන ලද අදාළ නියෝග වැඩිදුර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මේ සම්බන්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිව තිබේ.