February 4, 2026

බලුකිස්තානයේ නුෂ්කි දිස්ත්‍රික්කයට එල්ල වූ බව කියන ඩ්‍රෝන ප්‍රහාරවලින් බාලවයස්කාර දරුවෙකු සහ තවත් සිවිල් වැසියන් කිහිප දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය ආරංචි මාර්ග පවසා තිබේ.

සටන්කාමීන්ට එරෙහිව දියත් කළ මෑත කාලීන මෙහෙයුම් වලදී සටන්කාමීන් 150 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට පකිස්තාන හමුදාව ප්‍රකාශ කළ ද මෙම සිවිල් වැසියන් මියයාම පිළිබඳව මානව හිමිකම් කණ්ඩායම් පාකිස්තාන රජයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.

සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ බවට පාකිස්තානය පැවසූ ප්‍රහාරවලදී බලුකිස්තානයේ කිලී ජමාල්ඩිනි ප්‍රදේශයේ නිවසකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රාදේශීය ආරංචි මාර්ග පැවසීය.

එම ප්‍රහාර හමුවේ අදාළ නිවසේ සිටි දරුවෙකු මිය ගොස් තිබේ.

බලුච් ජාතික ව්‍යාපාරයේ මානව හිමිකම් දෙපාර්තමේන්තුව වන පාන්ක්, සිද්ධිය හෙළා දකිමින් පවසා ඇත්තේ ජමාල්ඩිනි බාලිකා ප්‍රාථමික පාසල අසලට එල්ල වූ පකිස්තාන ඩ්‍රෝන ප්‍රහාරයකින් තුන් හැවිරිදි දරුවෙකු මිය ගිය බවයි.

ඒ අවට ඩ්‍රෝන ප්‍රහාර 20 කට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බවත්, ඇතැම් ප්‍රදේශ හරහා රාත්‍රී කාලයේදී ගුවනින් බෝම්බ හෙළා ඇති බවත් ඔවුහු පවසති.

ප්‍රහාර හමුවේ නිවාස කිහිපයකට හානි සිදුවී ඇති අතර මියගිය හෝ තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බව ද වාර්තා වේ.

පාකිස්තාන හමුදාව ප්‍රදේශයේ ප්‍රධාන වෙළඳපලක් ද ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වන අතර ඒ හමුවේ එම ස්ථානයේ තිබූ ගොඩනැගිලි කිහිපයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ද සඳහන්.

දිස්ත්‍රික්කයේ සන්නිවේදන කටයුතු අඛණ්ඩව ඇනහිටීම හේතුවෙන් මෙම වාර්තා ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි වූ බව ද ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.