August 22, 2023

සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත්ව, පරාජිතයන් අතර වේගවත්ම කාලය අනුව මීටර් 100 කාන්තා අවසන් තරගයට සුදුසකම් ලබා ගත් ඇමෙරිකාවේ ෂා’කැරී රිච්ඩ්සන්, එම ඉසව්වේ ජැමෙයිකානු ආධිපත්‍යය බිඳ දමමින් ලෝක ශූරතා වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

පසුගිය වසරේ ඔරිගන්හි පැවැති තරගාවලියේදී කෙටි දුර සියලු ඉසව්වන්ගේ සියලු රන් පදක්කම් සමගින් පසුගිය දශකය තුළ ලෝක ශූරතා තරගාවලි හයකදී සිව්වරක් ශූරතාව දිනා ගැනීමට ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබේ.

නමුත් ඇත්ත වශයෙන්ම ඊයේ රාත්‍රිය රිචඩ්සන්ගේ විය.

මුත්‍රා සාම්පලයේ මරිජුවානා අන්තර්ගත වීම හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල ද පරිසාධන මට්ටමට ළඟා වීමට නොහැකි වීමෙන් මව්බිමේ පැවති පසුගිය ලෝක ශූරතා තරඟාවලිය ද මඟ හැරීමෙන් පසු ඇය නැවත නැගී සිටි රාත්‍රියක් බවට එය පත් විය.

පෝලන්තයේ  ඒවා ස්වබෝදා සහ මහා බ්‍රිතාන්‍යයේ ඩීන ඇෂර්-ස්මිත් යන දෙදෙනාම ඔවුන්ගේ අවසන් පූර්ව වටයේ දී 11.01 සමාන වේලාවන් සමඟ තෙවැනි ස්ථානයට පත් වූ බැවින් මීටර් 100 කාන්තා අවසන් පුර්ව වටය නිමා වූයේ නාටකීය ස්වරූපයෙනි.

පමා වූ ආරම්භයේ ප්‍රතිවිපාකයට මුහුණ දුන් රිචඩ්සන් ද අවිනිශ්චිතතාවකට මුහුණ දුන්නේ ඇය සහභාගී වූ අවසන් පූර්ව වටයේදී තෙවැන්නිය ලෙස තරගය නිමා කළ බැවිනි.

අවසානයේදී, ක්‍රීඩිකාවන් තිදෙනාටම අනුමැතිය ලැබුණේ  අවසන් තරගයේ ත්‍රීවතාව ඉහල නංවාලමින්ය.

එමෙන්ම සාන්ත ලුසියා හි ජුලියන් ඇල්ෆ්‍රඩ්, තුන්වන අවසන් පූර්ව තරගයේදී වැරදි ආරම්භයක් ලබා ගෙන කහ කාඩ් පතකින් අනතුරු ඇඟවීමක් ලැබූවද එම වටයේ පළමු තැන ලබා ගනිමින් අවසන් තරගයට සෘජුවම සුදුකම් ලැබීය.

ක්‍රීඩිකාවන් නව දෙනෙකු එක් රන් පදක්කමක් වෙනුවෙන් මෙරට වේලාවෙන් අලුයම 1ට පමණ බුඩපෙස්ට් ධාවන පථයට පිවිසියහ.

අවසාන පෙළගැස්ම බිය උපදවන සුළු විය.

ලොව එතෙක් මෙතෙක් බිහි වූ වේගවත්ම කාන්තාවන් අට දෙනාගෙන් සිව්දෙනක් එහි වූහ.

එය ඕනෑම නවකයෙකු විස්මයට පත් කරනු ඇති නමුත් නවවැනි මංතීරුවේ සිටි 23 හැවිරිදි ෂා’කැරී රිච්ඩ්සන්ට එය ගැටලුවක් නොවීය.

එය එක් අතකින් එක්සත් ජනපද ශූරියට වෙස්වලාගත් ආශීර්වාදයක් වෙමින් ජැක්සන් සහ ෂෙලී-ඇන් ෆ්‍රේසර්-ප්‍රයිස්ගේ කරට කර සටනින් ඇයව ඈත් කර තිබුණි.

අවසන් මීටර් පහේදී සිය උපරිමය මුදා හළ රිචඩ්සන් උපරිම වේගයට ළඟාවෙමින් තරගය නිමා කිරීම අසාමාන්‍ය විය.

තත්ත්පර 10.65ක් ලෙසින් ලෝක ශූරතා මීටර් 100 ඉසව්වේ වාර්තාව තමන් සතු කර ගත් එක්සත් ජනපද විලාසිතාකාරිනිය පසුගිය වසරේ ඔරිගන්හි දී වාර්තාව පිහිටවූ ෆ්‍රේසර්-ප්‍රයිස්ගේ තරග නිමි කාලයට වඩා තත්ත්පර 0.02කින් තරගය නිමා කළාය.

තරගයේ මුල සිටම පෙරමුණේ පසු වූ ජැමෙයිකාවේ ෂෙරීකා ජැක්සන් තත්ත්පර 10.72කින් තරගය නිමා කරමින් රිදී පදක්කම දිනා ගත්තාය.

ආබාධවලට ලක්ව මෙම තරග වාරය තුළ දෙවතාවක් පමණක් ධාවනයේ නිරත වූ ෆ්‍රේසර්-ප්‍රයිස්ට ඓතිහාසික 6 වැනි ලෝක ශූරතා රන් පදක්කම අහිමි වූ අතර ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වන්නට සිදු විය.

ඇය තරගය නිමා කළේ තත්ත්පර 10.77ක් වූ මෙම තරග වාරයේ තමන්ගේ හොඳම කාලය වාර්තා කරමින්ය.

මෙවර තරග වාරයේ තරග 10කින් ජයග්‍රහණ 10ක් වාර්තා කළ අයිවරි කොස්ට් හි මොරි ජෝසි ටා ලූ තත්ත්පර 10.81ක කාලයක් වාර්තා කරමින් සිවුවැනි ස්ථානයට පත් විය.

2017 දී රිදී පදක්කම් දෙකක් සහ 2019 දී ලෝකඩ පදක්කමක් සමඟින්, 34 හැවිරිදි ක්‍රීඩා ජීවිතයේ  විශිෂ්ඨතම අවදියේ පසුවන ඇය මීටර් 100 කාන්තා ඉසව්වේ පළමු අප්‍රිකානු රන් පදක්කම්ෙලාභිනිය බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් ඊයේ රාත්‍රිය ඇගේ නොවීය.

එතෙක් මෙතෙක් ඉතිහාසයේ විශිෂ්ඨතම මීටර් 100 කාන්තා අවසන් තරගයක් වූ මෙම තරගයේ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුම තත්ත්පර 11ට අඩුවෙන් තරගය නිමා කිරීමට සමත් විය.

අවසන් වරට එක්සත් ජනපදය මීටර් 100 පිරිමි සහ කාන්තා ඉසව් ද්විත්යේදීම රන් පදක්කම් දිනා ගත්තේ ලන්ඩන් 2017 ලෝක ශූරතාවලියේ දීය.

ඒ ජස්ටින් ගැට්ලින් සහ ටෝරි බෝවී විසින්ය.

ඒ අනුව වසර වසර 6කට පසු යළි කෙටි දුර ධාවන පථයේ ආධිපත්‍යය තමන් සතු කර ගැනීමට එක්සත් ජනපදය බුඩාපෙස්ට්හිදී සමත් විය.

කොණ්ඩා සහ නියපොතු විලාසිතාවෙන් ධාවන පථය වර්ණවත් කරන ෂා’කැරී රිච්ඩ්සන් සිය දෙපයේ ශක්තියද සමගින් ජැමෙයිකානු ආධිපත්‍යයට අභියෝග කරමින් පැරිස් ඔලිම්පික් ධාවන පථයට නව බලාපොරොත්තු එකතු කර තිබේ.