November 28, 2026

සොරකම් කරන ලද වෑන් රථයකින් පළායෑමට උත්සාහ කළ සැකකරුවන් පිරිසකට ඇහැලියගොඩ, පරකඩුව, අඟුරුවංගුව ප්‍රදේශයේදී අද (28) පොලිසිය විසින් වෙඩිතබා ඇති අතර, ඉන් එක් සැකකරුවකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තම වෑන් රථය සොරකම් කර ඇති බවට එහි හිමිකරු විසින් අද පෙරවරුවේ අවිස්සාවේල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඒ අවට රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් දැනුවත් කර සැකකටයුතු වෑන් රථය නැවැත්වීමට පියවර ගෙන ඇතත්, සැකකරුවන් පොලිස් අණ නොතකා රථය නොනවත්වා ධාවනය කර ඇත.

පසුව පොලිස් නිලධාරීන් වෑන් රථය පසුපස හඹාගොස් පරකඩුව ප්‍රදේශයේදී එය අවහිර කර නවතාගැනීමට සමත්ව තිබේ.

එම අවස්ථාවේදී එක් සැකකරුවකු පළාගොස් ඇති අතර, අනෙක් සැකකරු පොලිස් නිලධාරීන්ට පහර දී පළායෑමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.

එහිදී සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් වෙඩිතබා ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

පළාගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.