November 28, 2026

ශ්‍රී ලංකා පොලිසිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා විදුලි මෝටර් රථ 400ක් සහ සෙසු නිලධාරීන් සඳහා විදුලි යතුරුපැදි 65,000ක් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

2027 වසරේදී එම විදුලි මෝටර් රථ 400 ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා නිලධාරීන්ට තීරුබදු රහිතව විදුලි යතුරුපැදි ලබාදීමේ වැඩසටහන මේ වන විට අවසන් අදියරේ පවතින බවත්, ඒ සඳහා පොලී රහිත ණය පහසුකම් ලබාදීමට සහ අදාළ බදු ඉවත්කිරීමට පියවර ගන්නා බවත් ආනන්ද විජේපාල පැවසීය.

2027 වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත තවත් විශේෂ ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙසේ කරුණු දැක්වීය.

– පොලිස් ස්ථාන 92ක් සඳහා නව නිල නිවාස ඉදිකිරීම.
– රුපියල් මිලියන 308ක වියදමින් තවත් පොලිස් ස්ථාන 389කට CCTV කැමරා පද්ධති සවිකිරීම.
– Body cameras ඇතුළු නවීන උපාංගවලින් සමන්විත නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වාදීම.

මේ අතර, හඳුන්වා දීමට නියමිත නව පොලිස් නිල ඇඳුම මේ දිනවල Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකෘතිය නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඒ පිළිබඳ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින බව කියාසිටියේය.

ආයතනික ප්‍රතිසංස්කරණ, ආකල්පමය වෙනස්කම් සහ නවීන උපකරණ ලබා දීම තුළින් වඩාත් කාර්යක්ෂම හා වෘත්තීය පොලිස් සේවයක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.