November 28, 2026

වත්මන් ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ අගය කරන නමුත්, ඉන් ඔබ්බට ගිය ප්‍රතිපත්තියක් ආණ්ඩුවට නොමැති වීම සහ පන්ති වෛරය පැතිරවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විවේචනය කළේය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සමානාත්මතා වැඩසටහන මගින් සම්පාදිත ‘VORTEX’ 5 වැනි කලාපය එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

ආණ්ඩුවේ තම ‘විශිෂ්ට’ දූෂණ විරෝධී වැඩපිළිවෙළ හැර වෙනත් කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බව ඇය එහිදී සඳහන් කළාය.

“මේ වත්මන් රජය ගැනත් මගේ චෝදනාව වන්නේ, ඉතා විශිෂ්ට දෙයක් වන දූෂණ විරෝධී වැඩපිළිවෙළ හැර ඔවුන්ට වෙනත් ප්‍රතිපත්තියක් නොතිබීමයි. වෙන කිසිවක් නැහැ,” යනුවෙන් ඇය පැවසුවාය.

තවත් පන්තියකට එරෙහිව පන්ති වෛරය පැතිරවීම හැර ආණ්ඩුවට දීමට වෙනත් කිසිවක් නොමැති බවද ඇය වැඩිදුරටත් කියාසිටියාය.

“අනෙක් පන්තියට එරෙහිව පන්ති වෛරය පතුරුවමින් ඉදිරියට යාම හැර වෙන කිසිවක් එතැන නැහැ” යි හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

රටේ අනාගතය හැඩගැස්වීම සඳහා නායකත්වය ගන්නා ලෙස තරුණ පරපුරෙන් ඉල්ලා සිටි චන්ද්‍රිකා කුමාරතුංග, නායකත්වය ලබාදෙන තෙක් දේශපාලනඥයන් හෝ දේශපාලන පක්ෂ දෙස බලා නොසිටින ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියාය.

“ඔබ නායකත්වය ගත යුතුයි. පාර්ලිමේන්තුවේ සිටින සහ විවිධ පක්ෂවල සිටින පුද්ගලයින් නායකත්වය ගන්නා තෙක් බලා සිටින්න එපා,” යැයි පැවසූ ඇය, ප්‍රතිපත්ති නොමැති දේශපාලනඥයින්ට ඡන්දය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිය හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කළාය.

ශ්‍රී ලංකාවට සිය සැබෑ හැකියාවන් කරා ළඟා වීමට නොහැකි වී ඇත්තේ සමානාත්මතාවය නොමැතිකම සහ එක්සත් ජාතියක් ගොඩනැගීමට නොහැකි වීම නිසා බව ඇය පැවසුවාය.

“අපි ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක්. ඉන් බොහොමයක් තවමත් ප්‍රයෝජනයට ගෙන නැහැ. අධ්‍යාපන පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය ආදිය නිසා අපට ඉතා ඉහළ මට්ටමේ දියුණු මානව සම්පතක් තිබෙනවා. නමුත් අපි මේ මොහොතේ ලෝකයේ දුප්පත්ම රටවලින් එකක්. ඉතා කෙටියෙන් කිවහොත්, ඊට හේතුව අපට එක ජාතියක් ගොඩනැගීමට නොහැකි වීම බව මම ස්ථිරවම කියනවා,” යනුවෙන් ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ද ප්‍රශ්න කළ හිටපු ජනාධිපතිනිය, පසුගිය පාර්ලිමේන්තුවක උපාධි තිබුණේ මන්ත්‍රීවරුන් 20 දෙනකුට පමණක් බවත්, බහුතරයක් උසස් පෙළ විභාගය පවා සම්පූර්ණ කර නොතිබූ බවත් පෙන්වාදුන්නාය.

සමානාත්මතාවය ආබාධ සහිත පුද්ගලයන්ට පමණක් සීමා නොවී සියලුම පුරවැසියන් වෙත ව්‍යාප්ත විය යුතු බව අවධාරණය කළ ඇය, සමානාත්මතාවය නොමැති වීම ශ්‍රී ලංකාවට සැබෑ ශ්‍රේෂ්ඨත්වය කරා ළඟා වීමට බාධාවක් වී ඇති බව වැඩිදුරටත් පැවසුවාය.