April 8, 2026

2026 දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තුවේ තවත් 15% ක වැඩිවීමක් ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගම(The National System Operator (Pvt.) Ltd) විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් ඉල්ලා ඇත.

2026 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වූ 10% ක විදුලිය ගාස්තු වැඩිවීමට අමතරව, මෙම ඉල්ලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබේ.

යාවත්කාලීන කරන ලද ඉන්ධන මිල ගණන් සහ සංශෝධිත විදුලි උත්පාදන කාලසටහනක් මත පදනම්ව, අප්‍රේල් 6 වැනි දින සංශෝධිත විදුලි උත්පාදන පිරිවැය පුරෝකථනයන් මෙලෙස ඉදිරිපත් කළ බව ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගම පවසයි.

මීට පෙර, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසුව, ගෘහස්ථ සහ වාණිජ පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු වැඩිකරන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම පරිදි මුලින් 13.56% ක වැඩිවීමක් යෝජනා කර තිබූ නමුත් පසුව එය සංශෝධනය කෙරිණි.

එහිදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව 10% ක පමණ සමස්ත වැඩිවීමක් අනුමත කළේය.

ඉන්ධන මිල ඉහළ යෑම සහ විදුලි උත්පාදන පිරිවැයේ වෙනස්කම් යෝජිත වැඩිවීමට ප්‍රධාන හේතු බව නිලධාරීහු පවසති.

මේ අතර, අඩු ආදායම්ලාභී විදුලි පරිශීලකයන්ට සහාය වීම සඳහා රජය සහන පියවර ප්‍රකාශයට පත්කර ඇත.

නව ආර්ථික සහන පැකේජය යටතේ, ඒකක 90 ට අඩු විදුලියක් භාවිත කරන පාරිභෝගිකයන්ට සහනාධාරයක් ලැබෙනු ඇත.

ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුවට පැවසුවේ, මේ සඳහා රුපියල් බිලියන 15 ක් වෙන්කර ඇති බවයි.

ගෝලීය බලශක්ති මිල ගණන් කෙරෙහි පවතින මැදපෙරදිග අර්බුදයේ බලපෑම ඇතුළු ආර්ථික පීඩනයන්ගෙන් පීඩාවට පත් වූ ජනතාවට උපකාර කිරීම මෙම සහන පැකේජයේ අරමුණයි.

විදුලි මිල අඛණ්ඩව ඉහළ ගියහොත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මත බර අඩුකිරීමට මෙම ආධාර උපකාරී වනු ඇතැයි රජය පැවසීය.

යෝජිත 15% වැඩිවීම පිළිබඳ අවසාන තීරණය මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින්, ඉදිරිපත් කරන ලද යෝජනාව සමාලෝචනය කිරීමෙන් පසු ගනු ලැබේ.