
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මාස 10ක් වයසැති ළදරුවකුගේ කන් දෙකටම එකවර සාර්ථක ලෙස කර්ණශංඛ බද්ධ කිරීමේ අතිසංකීර්ණ ශල්‍යකර්මයක් සිදුකරමින් ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රවණ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී කඩඉමක් සලකුණු කර තිබේ.
නැගී එන ආසියානු ළමා ශ්‍රවණ විශේෂඥ කමිටුවේ සාමාජිකාවක ද වන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර, කන, නාසය සහ හිස සහ ගෙල පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ සඳහන් කළේ, උපතින්ම බරපතළ ලෙස ශ්‍රවණාබාධවලට ලක්වන දරුවන්ට ශ්‍රවණය සහ කථන හැකියාව ලබා දී ඔවුන්ගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් එකතු කිරීමට මෙම ශල්‍යකර්මය සමත්වන බවයි.
“දරුවෙකුගේ සර්වාංගීණ වර්ධනයට ශ්‍රවණය සහ කථනය කියන්නේ අත්‍යවශ්‍ය කරුණු දෙකක්. උපතින්ම ශ්‍රවණාබාධ සහිතව උපදින දරුවන්ට මෙම හැකියාවන් දෙකම අහිමි වීමේ දැඩි අවදානමක් පවතිනවා. නමුත් නූතන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්ම මගින් ඔවුන්ගේ නිහඬ ලෝකයට නැවත ශබ්දය ගෙන ඒමට හැකියාව තිබෙනවා,” යැයි වෛද්‍යවරිය පැවසුවාය.
වෛද්‍ය රූපසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙවර ශල්‍යකර්මය සඳහා බ්ලූටූත් සම්බන්ධතාව, ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් පාලනය කිරීමේ හැකියාව, ශබ්ද සැකසුම්, පරිසර ශබ්ද පාලනය සහ දුරස්ථව ක්‍රමලේඛනය කිරීමේ (Remote programming) පහසුකම් සහිත අතිනවීන ‘ස්මාර්ට් බද්ධ කිරීමේ උපකරණයක්’ භාවිත කළ බවයි.
දකුණු ආසියාවේ ප්‍රථම වතාවට මෙම නව පරම්පරාවේ ස්මාර්ට් උපකරණය බද්ධ කිරීමේ ශල්‍යකර්මය 2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහල විසින් සිදු කරන ලද අතර, මෙවර කන් දෙකටම එකවර එය සිදුකර ඇත්තේ මාස 10ක කුඩා බිළිඳෙකුට වීම විශේෂත්වයකි.
මොළයේ සාමාන්‍ය කථන මාර්ග (Speech pathways) වර්ධනය වීමේ හැකියාව පවතින බැවින්, කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය දරුවාට වයස අවුරුදු 3 සම්පූර්ණ වීමට පෙර හැකි ඉක්මනින් සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.
“ජීවිතයේ මුල් වසර 3 ඇතුළත දරුවාට ශ්‍රවණ උත්තේජනය ලැබුණේ නැත්නම්, මොළයේ කථන වර්ධන මාර්ග ක්ෂය වී යනවා. එවැනි දරුවකුට පසුව සාමාන්‍ය පරිදි කතා කිරීමේ හැකියාව ලබාගැනීම ඉතා අසීරු වෙනවා,” යැයි ඇය පැහැදිලි කළාය.
ශල්‍යකර්මයෙන් පසුව, ලබෙන ශබ්ද තේරුම් ගැනීමට සහ කථන හැකියාව වර්ධනය කරගැනීම සඳහා දරුවන්ට අවම වශයෙන් මාස 6ක ශ්‍රවණ-කථන චිකිත්සක පුහුණුවක් අවශ්‍ය වේ.
2018 වසරේදී ආරම්භ කරන ලද මෙම කර්ණශංඛ බද්ධ කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල මේ වන විට දරුවන් 125කට අධික සංඛ්‍යාවකට මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුකර ඇති අතර, එම දරුවන්ගෙන් බහුතරයක් මේ වන විට සාමාන්‍ය පාසල් වෙත ගොස් අනෙකුත් දරුවන් මෙන් අධ්‍යාපනය ලබති.
තම දරුවාට යම් ශ්‍රවණාබාධයක් පවතින බවට සැකයක් ඇත්නම් ප්‍රමාද නොවී වහාම විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස වෛද්‍ය රූපසිංහ මාපියන්ගෙන් ඉල්ලා සිටින අතර, පූර්ව හඳුනාගැනීම සහ නිසි වේලාවට ප්‍රතිකාර කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව ද පෙන්වා දුන්නාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart