May 22, 2026

ගාසා තීරයේ ජනතාවට සහන ආධාර රැගෙන යමින් සිටියදී අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් නීතිවිරෝධී ලෙස පැහැරගෙන අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකිකයකු වන සමීරා මෙහෙබුදීන් ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරිනී පිරිසක් නිදහස් කර තිබේ.

ඊශ්‍රායලයේ රමොන් ගුවන් තොටුපළේ සිට විශේෂ ගුවන් යානා තුනක් මඟින් ඔවුන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටමං කර ඇති බව වාර්තා වේ.

ගාසා ජනතාව වෙනුවෙන් සහන සේවා සැපයීම සඳහා තුර්කියේ සිට යාත්‍රා 50කින් පමණ සමන්විතව ගමන් ඇරඹූ “ග්ලෝබල් සමුද් ෆ්ලෝටියා” (Global Sumud Flotilla) සහන කණ්ඩායමට අයත් මානව හිමිකම් ක්‍රියාකාරීන් 500කට ආසන්න පිරිසක් මෙලෙස ඊශ්‍රායල හමුදාවන්හි දඩයමට හසුවිය.

කිසිදු නීතිමය පදනමකින් තොරව අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදුකළ මෙම පැහැරගැනීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී රටවල් සහ විවිධ අන්තර්ජාතික සංවිධානවලින් දැඩි රාජ්‍යතාන්ත්‍රික හා සිවිල් විරෝධයක් එල්ල විය.

එම ගෝලීය බලපෑම හමුවේ මෙම පිරිස නිදහස් කිරීමට ඊශ්‍රායල බලධාරීන්ට සිදුව ඇත.

හිංසන වීඩියෝවක් සමාජ මාධ්‍යයට

මෙම සිදුවීම ලෝකයේම දැඩි අවධානයට ලක්වෙමින් පවතින පසුබිමක, ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ගිවීර් (Itamar Ben-Gvir) විසින් එරට අශිෂ්ටත්වය ලොව හමුවේ ප්‍රදර්ශනය කරමින් සමාජ මාධ්‍ය වෙත මුදාහළ වීඩියෝ පටයක් හේතුවෙන් තත්ත්වය තවත් උණුසුම් විය.

අත්අඩංගුවට පත් වූ සමීරා මෙහෙබුදීන් ඇතුළු පිරිස දණගස්වා, ඉතා නින්දිත අයුරින් බැනවදිමින් හිංසා පමුණුවන දර්ශන එම වීඩියෝවේ අන්තර්ගත වූ අතර, බොහෝ විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ මේ හරහා ඊශ්‍රායලය මෙතෙක් ලොවට පෙන්වූ ව්‍යාජ මානුෂීය වෙස්මුහුණ සහමුලින්ම ගැලවී ගොස් ඇති බවයි.

“ශ්‍රී ලංකා ග්ලෝබල් සමුද්” සංවිධානයෙන් විශේෂ ප්‍රකාශයක්

සමීරා මෙහෙබුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් “ශ්‍රී ලංකා ග්ලෝබල් සමුද්” (Srilanka Global Sumud) සංවිධානය නිල ෆේස්බුක් සටහනක් තබමින් විශේෂ ස්තුතියක් පළකර තිබේ.

“අන්තර්ජාතික මුහුදේදී ඊශ්‍රායල හමුදාව විසින් ඇයව නීතිවිරෝධී ලෙස පැහැරගෙන යාම පිළිබඳව ලෝකය දැනුවත් කිරීමට දායක වූ සියලුමදෙනාටත්, ඇගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තම වෘත්තීය, සිවිල් සහ දේශපාලනික ධාරිතාවයෙන් උපරිම පියවර ගත් සැමටත් අපි මේ මොහොතේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු.

එමෙන්ම, මෙම නීතිවිරෝධී පැහැරගැනීමෙන් පසු සමීරාගේ අයිතිවාසිකම්, ගෞරවය සහ ආරක්ෂාව වෙනුවෙන් අන්තර්ජාතික තලයේදී සෘජුවම පෙනීසිටිමින් ක්‍රියා කළ ශ්‍රී ලංකා රජයට ද අපගේ විශේෂ ස්තුතිය හිමිවේ.”

යැයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත.