May 22, 2026

රට පත්ව තිබෙන තත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවක් කැඳවමින් ඒ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වත්මන් විපක්ෂය කටයුතු කරන්නේ රට පිළිබඳ සිතා මිස පෙර පැවැති විපක්ෂ කණ්ඩායම් මෙන් බෝඩ් ලෑලි අල්ලාගෙන පෙළපාලි ගොස් වැඩවර්ජන කැඳවා නොවන බවයි.

ආණ්ඩුවේ හෝ විපක්ෂය හෝ වේවා සිදු කළ යුතු වන්නේ රටේ ජනතාව වැටෙන්නට නොදී අල්ලා ගැනීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සහ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අත්‍යවශ්‍ය නොවන විදෙස් සංචාර සිදු නොකරන්නැයි එරට ජනතාවගෙන් කළ ඉල්ලීම හමුවේ මෙරටට ද බලපෑමක් එල්ල විය හැකි බව රවී කරුණානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ එමගින් මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් පිරිස අඩුවීමේ අවදානමක් පවතින බව සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් පවා අඩුවනු ඇති බවයි.

එවන් තත්වයක් තුළ රටක් වශයෙන් අප කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.