July 25, 2026

බලය ලබා ගැනීම සඳහා කුමන ප්‍රකාශ සිදු කළ ද බලය ලබා ගත් පසු බලයේ සිටින පාර්ශව සිතන්නේ ආණ්ඩු බලය පවත්වා ගැනීම පමණක් සුන්දර බව සහ ජනතාවට ඉන් ඔබ්බට ගැටලු නොමැති බව යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

වත්මන් ආණ්ඩුව තවත් වසර 20 ක් බලයේ සිටින බවට අමාත්‍යවරයෙකු සිදු කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳ ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රටේ සියලු දේශපාලන පක්ෂ එකට එක්ව වැඩකළ යුතු හොඳම අවස්ථාව දැන් එළඹ ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එවිට මෙවැනි විහිලු ප්‍රකාශ නවතිනු ඇතැයි ද පැවසුවේය.

එමෙන්ම මන්ත්‍රීවරයා අවධාරණය කළේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ ද එවැනි එකමුතුවීමක් තුළින් බවයි.

රට සංවර්ධනය කළ හැකි වන්නේ ද එවැනි ඉලක්කයක් ඔස්සේ ගමන් කිරීමෙන් බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය. බලය යනු තාවකාලික බලපත්‍රයක් බව පැවසූ ඔහු ප්‍රකාශ කළේ එය සදාකල් හිමිවන උරුමයක් නොවන බවයි.