August 4, 2026

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ සිදුකළ සමුද්‍ර ක්ෂීරපායි සතුන් පිළිබඳ පර්යේෂණයකදී, මෙරට මුහුදු සීමාවේ මෙතෙක් වාර්තා නොවූ දුර්ලභ ඔමුරා තල්මසා (Omura’s whale – Balaenoptera omurai) පළමු වරට හඳුනාගෙන තිබේ.

මෙම වැදගත් සොයාගැනීම සම්බන්ධයෙන් Oceanswell ආයතනයේ නිර්මාතෘ සහ සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් විසින් රචිත “First record of Omura’s whale, Balaenoptera omurai, in Sri Lankan waters” නම් පර්යේෂණ ලිපිය Marine Biodiversity Records ජර්නලයේ ප්‍රකාශයට පත්කර ඇත.

මෙම දුර්ලභ තල්මසා 2017 පෙබරවාරි 5 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශයේ Oceanswell ආයතනයේ සාමාන්‍ය තල්මසුන් නිරීක්ෂණ චාරිකාවකදී නිරීක්ෂණය කර තිබේ.

මෙම වාර්තාව ශ්‍රී ලංකාවට පමණක් නොව මධ්‍යම උතුරු ඉන්දීය සාගර කලාපය තුළ ඔමුරා තල්මසා පිළිබඳ පළමු තහවුරු කළ වාර්තාව ලෙස සැලකේ.

මුලදී මෙම සත්ත්වයා බහුලව දක්නට ලැබෙන Bryde’s whale ලෙස සැකකළද, පසුව ලබාගත් ඡායාරූප විශ්ලේෂණයෙන් ඔමුරා තල්මසාටම ආවේණික ලක්ෂණ රැසක් හඳුනාගෙන ඇත.

ඒ අතර පහළ හනුවේ අසමමිතික වර්ණ රටාව, හිසේ එක් ප්‍රමුඛ රිජ් එකක්, දකුණු පැත්තේ විශේෂ ‘blaze’ සලකුණ, දෙපසම අසමමිතික chevron රටා සහ දැඩි ලෙස වක්‍ර වූ dorsal fin එක ප්‍රධාන වේ.

ඔමුරා තල්මසා 1970 දශකයේදී Bryde’s whale ගණයට අයත් කුඩා ආකාරයක් (පිග්මි) ලෙස සැලකුණු අතර, 2003 වසරේදී ජපාන විද්‍යාඥයන් විසින් මෙම සත්වයා ස්වාධීන නව තල්මසුන් විශේෂයක් ලෙස විද්‍යාත්මකව හඳුන්වාදෙන ලදී.

මෙම සොයාගැනීම ශ්‍රී ලංකා මුහුද තුළ තවමත් හෙළිදරව් නොවූ ජෛව විවිධත්වය විශාල ප්‍රමාණයක් පවතින බවත්, දිගුකාලීන සමුද්‍ර පර්යේෂණවල වැදගත්කමත් නැවතත් අවධාරණය කරන බව CeylonWire News වෙත අදහස් දක්වමින් ආචාර්ය ආශා ඩි වොස් සඳහන් කළාය.