June 14, 2026

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපනයේදී අත්අඩංගුවට ගෙන සිටි 24 හැවිරිදි රැප් ගායක ගනේෂකුමාර් සංගීත්සන් හෙවත් ‘හිප්හොප් සංගී’ දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදාහැරීමට චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.

ඒ, නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව පනවා තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන චෝදනා ඉල්ලා අස්කරගෙන, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ නව චෝදනා ගොනුකිරීමෙන් අනතුරුවය.

පසුගිය මැයි 31 වැනිදා පැවැති කෝවිල් උත්සවයකදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවාදී ගීත ගායනා කිරීම සහ යුද සමයට අදාළ දර්ශන ඇතුළත් වීඩියෝ පට ටික්ටොක් වෙත මුදාහැරීමේ චෝදනාව මත චාවකච්චේරි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල සහ පාර්ලිමේන්තුවේදී දෙමළ දේශපාලන පක්ෂ දැඩි විරෝධයක් මතුකළේය.

ඇප ලැබීමෙන් පසු ගායකයා සහ ඔහුගේ මව ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමරන්ට සිය කෘතඥතාව පළකළහ.

මේ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙම සිදුවීම අන්තර්ජාතික අවධානයට ද යොමුකර ඇත.

එහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ශානක්‍යන් රාසමාණික්කම් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි හමුවී, ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීම සහ ඉන් GSP+ බදු සහනයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී, ප්‍රකාශනයේ නිදහස සුරැකීම සහ වහාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කර ඇත.