June 5, 2024

රජයේ ගැසට් පත්‍රයේ පසුගියදා ප්‍රකාශයට පත් කළ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාපිතභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියට අමතරව ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන්, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ විධිමත් හා අවිධිමත් සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිතිවල නිලධාරීහු මෙම පෙත්සම ගොනු කළහ.

පෙත්සම්කරුවන් චෝදනා කර ඇත්තේ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ විධිවිධාන කම්කරුවන්ට, විශේෂයෙන් තරුණ කම්කරුවන්ට බරපතල බලපෑමක් ඇති කරන බවයි.

මෙම පනත් කෙටුම්පතේ සෘජු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන වෘත්තීය සමිති, විශේෂයෙන් තරුණ කම්කරුවන් සමඟ රජය සාකච්ඡා කර නැති බවට ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.

යෝජිත පනත් කෙටුම්පත මගින් සමාජවාදී රාජ්‍යයක සිට නව ලිබරල් රාජ්‍යයක් දක්වා රාජ්‍යයේ මූලික ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ දරන බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වාදෙති.

මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රාග්ධනයේ නිදහස් ප්‍රවාහය ප්‍රවර්ධනය කිරීම, නියාමනය නොකළ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය අවම කිරීම සිදුකරන බව පෙත්සම්කරුවෝ පවසති.

මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාව නව ලිබරල් රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කරන අතර එය රාජ්‍යයේ මූලික ස්වභාවය වෙනස් කරන බැවින් ව්‍යවස්ථාවේ 1 වැනි වගන්තිය උල්ලංඝනය කරන බවද ඔවුහු පෙන්වාදෙති.