October 8, 2026

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සිවිල් ඇඳුමින් සැරසී අධිකරණය හමුවට පැමිණවීම සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළකර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් මහානායක හිමිවරුන් සඳහන් කර ඇත්තේ, තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණ ක්‍රියාවලියට පූර්ණ ලෙස ගරු කරන අතරම, බෞද්ධ භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම හෝ උන්වහන්සේගේ පැවිදි බව අහෝසි කිරීම බන්ධනාගාර රෙගුලාසිවලින් පාලනය වන හුදෙක් පරිපාලනමය කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි.

එවැනි කරුණු මහා සංඝරත්නයේ ආගමික බලතලවලට අයත් වන බව උන්වහන්සේලා පවසති.

බෞද්ධ භික්ෂුවකගේ පැවිදි බව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය අදාළ නිකායට හෝ සංඝ සභාවට හිමි වන බව මහානායක හිමිවරු පෙන්වාදෙති.

ඥානසාර භික්ෂුව පැවිදි බව අහෝසි වන ආකාරයේ පාරාජිකා වරදක් සිදුකර ඇති බවට හෝ උන්වහන්සේ සිවුරු හැරවිය යුතු බවට අදාළ සංඝ සභාව තීරණය කර නොමැති බව උන්වහන්සේලා සඳහන් කරති.

බන්ධනාගාර ස්ථාවර නියෝගවල 550 වගන්තිය වෙත ද අවධානය යොමුකරමින් එම ලිපියේ දක්වා ඇත්තේ, වරදකරුවන් වූ සිරකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී, තමන් වරදකරුවන් වීමට පෙර ඇඳීමට පුරුදුව සිටි ඇඳුම්වලට අනුරූප වන සිවිල් ඇඳුම් ඇඳීමට අවසර දිය යුතු බවයි.

මහානායක හිමිවරුන්ට අනුව, බෞද්ධ භික්ෂුවක් සම්බන්ධයෙන් ගත්කල, වරදකරු වීමට පෙර ඇඳ සිටි ඇඳුම වන්නේ ගිහි ඇඳුම් නොව උන්වහන්සේගේ සිවුරයි.

සිරකරුවන්ට සැලකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීතිවල (United Nations Standard Minimum Rules) 17(3) රීතිය ද උපුටා දක්වමින් උන්වහන්සේලා පවසන්නේ, බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන සිරකරුවන්ට ඔවුන්ගේම ඇඳුම් හෝ කැපීපෙනෙන නොවන වෙනත් ඇඳුම් ඇඳීමට අවසර දිය යුතු බවයි.

එබැවින්, ඉදිරි අධිකරණ කටයුතුවලදී ඥානසාර භික්ෂුවට නැවතත් සිවුරෙන් සැරසී පෙනීසිටීමට අවශ්‍ය පරිපාලනමය කටයුතු සම්පාදනය කරන ලෙසත්, එම භික්ෂුව බන්ධනාගාරයේ පසුවන අතරතුර, භික්ෂුවගේ පැවිදි භාවයට අහිතකර බලපෑමක් නොවන බවට වගබලා ගන්නා ලෙසත් මහානායක හිමිවරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිති.

මෙම අර්බුදය මතුවූයේ සිරදඬුවමක ඉතිරි කොටස විඳිමින් සිටින ඥානසාර හිමියන්භික්ෂුව සිවිල් ඇඳුමින් සැරසී අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුවය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පියවර ගෙන ඇත්තේ බන්ධනාගාර රෙගුලාසිවලට අනුකූලව බවයි. බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් නිකුත් කරන ඇඳුම් ඇඳීම අනිවාර්ය බවත්, වසර තුනකට වැඩි සිරදඬුවම් විඳින සිරකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුත්තේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඇඳුමින් බවත් බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත.