July 21, 2023

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා කාලය තුළ ක්‍රියාත්මක නොකළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ භුක්ති විඳින්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් ජනවරම බවද පොදුජන පෙරමුණ පෙන්වාදෙයි.

පසුගියදා (18) දෙමළ ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල එකඟතාවයට යටත්ව පොලිස් බලතල හැර, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ බලතල සහිතව ක්‍රියාත්මක කරන බවයි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් ගෙනා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා පාලකයන් එය ක්‍රියාත්මක කළේ නැතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

ඔවුන් එය ක්‍රියාත්මක නොකිරීමට බුද්ධි වාර්තා හරහා ලැබුණු බරපතළ හේතුවක් තිබෙන්නට ඇති බවත්, එම නිසා රනිල් වික්‍රමසිංහ මුලින්ම කළ යුත්තේ එම හේතුව ජනතාවට හෙළිකර බුද්ධි අංශ හෝ වෙනත් අදාළ බලධාරීන් ලවා එම හේතුව තවමත් තිබේදැයි සොයාබැලීම බවද මහලේකම්වරයා පෙන්වාදෙයි.

අවශ්‍ය නම් මැතිවරණයක් කැඳවා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව ජනතාවට පැවසීමට හැකි බවත්, ජනතාව කැමති නම් ඔහුව නැවත බලයට පත්කර, ඉන් පසු එය සිදු කළ හැකි බවත්, ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය මධ්‍යගතව පැවතිය යුතුය යන මතයේ සිටින පක්‍ෂයක්‌ නොවන නමුත්, ජාතිකත්වය, ආගම් හෝ භාෂාව මත බලය විමධ්‍යගත කිරීමේ පියවරක්‌ අනුමත නොකරන බව මහ ලේකම්වරයා පවසයි.

පොලිස් බලතල නොමැතිව පළාත් සභා තුළ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා විසින් දෙමළ මන්ත්‍රීවරුන්ට සහතික වී ඇත.

කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානය (TNA) එදිනම පොලිස් බලතල නොමැතිව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, බලය බෙදීමේ යෝජනාව “තවත් හිස් පොරොන්දුවක්” ලෙස හඳුන්වා තිබේ.

(The Morning)