January 3, 2024

ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමේ අරමුණින් එය මුළුමනින්ම ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කෙළේය.

කොළඹ කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02) දහවල් පැවති විශේෂ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

“ඖෂධ මිල දී ගැනීමේ දැනට පවතින ක්‍රියාවලියට වඩා ශක්තිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුවීම අනිවාර්යයි. එය අපට මේ වසරේ කළ හැකියි. ඒ සඳහා වූ වැඩපිළිවෙළ සකස් කිරීම සම්බන්ධයෙන් දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශ සමඟ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. අප ඉතා ඉක්මනින් මේ සම්බන්ධව වැඩපිළිවෙළ හඳුන්වා දෙනවා”

ඉදිරි පස් වසර තුළ මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනයෙන් සියයට 75ක් දේශීයව නිෂ්පාදනය කර ලබාගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව දේශීය හා විදේශීය ආයෝජකයන්ට ඖෂධ නිෂ්පාදනය සඳහා වැඩි පහසුකම් හා දිරිගැන්වීම් ලබාදීමට රජය සූදානම් බව හෙතෙම පෙන්වාදුන්නේය.

“දැනට අපේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දේශීයව නිෂ්පාදනය කරන්නේ සියයට 22ක් තරම් ප්‍රමාණයක්. මේ සඳහා දේශීය හා විදේශීය ආයෝජක සමාගම් 20ක් කටයුතු කරනවා. මෙය තවදුරටත් පුළුල් කළ හැකි කර්මාන්තයක්. අපි ඒ නිසා ඉදිරි පස් වසර තුළ ඊට පුළුල් හා විධිමත් පහසුකම් සපුරාලීමට නිෂ්පාදකයන් දිරිමත් කිරීමට කටයුතු කරනවා“