June 26, 2026

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු පිරිසට හරක් කටා නමැති පාතාල සාමාජිකයාගේ බිරිඳ විසින් අදාළ මුදල ලබාදී ඇත්තේ ‘ඩිරාම් වලින්’ බව ඊයේ අධිකරනයයේදී අනාවරණය කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම ඒ බව මෙලෙස අනාවරණය කෙරිණි.

“….හර්බි නමැත්තා වාසය කරන්නේ ඩුබායි රාජ්‍යයේ. පසුව ඔහු මේ කාරණය පිළිබඳව ඩුබායි රාජ්‍යයේ සිටින හරක් කටාගේ බිරිඳවන මදුශානිට දැනුම් දෙනවා. පසුව 2023 වසරේ මාර්තු මස 25 වන දා රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායි රාජ්‍යයට පිටත් වෙනවා. ඩුබායි රාජ්‍යයදී හර්බි නමැත්තාගේ නිවසේදී මෙම සැකකරුවන් හරක් කටාගේ බිරිඳව මුණගැසෙනවා. එම අවස්ථාවට මිදිගම රුවන් නමැති පුද්ගලයාත් සහභාගී වෙනවා. එහිදී කලින් දැනුම් දන් පරිදි හරක් කටා නැමැති පුද්ගලයාගේ ඩී.ඕ ඉවත්කර ඔහුට අවශ්‍ය ආරක්ෂාව සලසාදීම සඳහා මෙම සැකකරුවන් රුපියල් කෝටි පනහක මුදලක් ඉල්ලා සිටිනවා. පසුව එම මුදල රුපියල් කෝටි 30 දක්වා අඩු කරනවා. එහිදී හරක් කටාගේ බිරිඳ ප්‍රකාශ කරනවා තමන්ට ඒ තරම් මුදලක් ලබාදිය නොහැකි බවට. ඒ අනුව එම මුදල කෝටි 20 දක්වා අඩු කරනවා. ඉන් අනතුරුව එම මුදලින් රුපියල් කෝටි දොළහක මුදලක් අත්තිකාරම් වශයෙන් මේ සැකකරුවන් ඉල්ලා සිටිනවා. එම මුදල ලබාදෙන්න හරක් කටාගේ බිරිඳ එකඟ වෙනවා. ඒ අනුව එක් අවස්ථාවකදී රුපියල් කෝටි දහයක් සහ පසුදා තවත් කෝටි දෙකක මුදලක් හරක් කටගේ බිරිඳ විසින් ලබාදීම සිදුකරනවා. මේ මුදල් ලබාදී තිබෙන්නේ ඩිරාම් වලින්. මෙම කරුණ මෙවන විට අත්අඩංගුවේ පසුවට මිදිගම රුවන් නැමැති පුද්ගලයා ලබාදුන් ප්‍රකාශයෙන්ද තහවුරු කර තිබෙනවා. ඊට අදාළව ඔහුගේ දිවුරුම් ප්‍රකාශයක්ද අප ළඟදීම අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වගේම නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නමැති පුද්ගලයාත් මේ කාරණය තහවුරු කරමින් ප්‍රකාශ ලබාදී තිබෙනවා. මෙම ඩුබායි සංචාරය සඳහා සැකකාර රකිත රාජපක්ෂගේ පියාවන හිටපු අධිකරණ ඇමතිවරයාත් සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා”