July 1, 2026

පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 12, පරණ යොන් වීදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක අයිතිකරු වන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්ලාල් අහමඩ් යන විත්තිකරුට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුව අද දින කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවනු ලැබීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීහු විශේෂ වැටලීමකදී, ආනයනකරුගේ තොරතුරු සහ සැපයුම්කරු විසින් නිකුත් කරන ලද නිසි බිල්පත් හෝ කුවිතාන්සි නොමැතිව විකිණීම සඳහා තබා තිබූ කිලෝග්‍රෑම් 1000ක් සොයා ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

විත්තිකාර ව්‍යාපාරිකයා අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහුට දඩ නියම කළ අතර, අත්අඩංගුවට ගත් කහ තොගය විනාශ කිරීමට ද නියෝග කෙරුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට නියම වූ කහ තොගයේ සමස්ත වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය

දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ශ්‍රී ලංකාවට කහ ආනයනය කිරීම තහනම් කර ඇති පසුබිමක, ඇතැම් වංචනික ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස කහ ආනයනය කර වෙළඳපොළට නිකුත් කරන බව අනාවරණය වී තිබේ.