November 3, 2026

දේශපාලන කතාවලට වඩා ප්‍රබල කතාවක් සංඛ්‍යාලේඛන මගින් කියැවෙන අවස්ථා තිබේ. ඉන්දියාවේ දිළිඳුකම සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් සිදුකර ඇති නවතම තක්සේරුව ද එවැනි එක් අවස්ථාවකි. වසර 12 ක තරම් කෙටි කාලයක් තුළ ඉන්දියානුවන් මිලියන 496 කට ආසන්න පිරිසක් දිළිඳුකම් රේඛාවෙන් ඉහළට පැමිණ ඇති අතර, මෙය නවීන ඉතිහාසයේ සිදුවූ වඩාත්ම කැපී පෙනෙන සමාජ-ආර්ථික පරිවර්තනයන්ගෙන් එකක් ලෙස සටහන් වේ.

2011-12 සහ 2023-24 වසර අතර කාලය තුළ, ලෝක බැංකුවේ පහළ-මධ්‍යම ආදායම් දිළිඳුකම් රේඛාව වන දිනකට ඩොලර් 4.20 ට අඩුවෙන් ජීවත් වූ ඉන්දියානුවන්ගේ අනුපාතය සියයට 57.7 සිට සියයට 16.1 දක්වා පහත වැටුණි. දිනකට ඩොලර් 3 ක් ලෙස මැන බලන අතිශය උග්‍ර දිළිඳුකම සියයට 27.1 සිට සියයට 2.6 දක්වා වඩාත් විප්ලවීය ලෙස පහත බැස ඇත.

ලෝක ජනගහනයෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන රටකට මෙය අතිවිශේෂ ජයග්‍රහණයකි.

මෙම පරිවර්තනය විශේෂයෙන්ම ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල කැපී පෙනෙන ලෙස දක්නට ලැබෙන අතර, එහිදී පැවැති අතිශය උග්‍ර දිළිඳුකම සියයට 31 සිට සියයට 3.1 දක්වා පහත වැටී තිබේ. නාගරික උග්‍ර දිළිඳුකම සියයට 17.4 සිට සියයට 1.4 දක්වා අඩුවී ඇත. මෙම සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ ප්‍රධාන මහා නගරවලින් ඔබ්බට ගොස්, ඓතිහාසිකව දැඩි ආර්ථික අවාසිවලට මුහුණ දුන් ප්‍රජාවන් වෙත පවා මෙම ප්‍රගතිය ගලා ගොස් ඇති බවයි.

මෙම ප්‍රගතිය සඳහා කරුණු කිහිපයක් දායක වී ඇත. ‘ප්‍රධාන් මන්ත්‍රී ජන් ධන් යෝජනා’ වැඩසටහන හරහා බැංකු පහසුකම් ව්‍යාප්ත කිරීම, ආධාර අංකය හා සම්බන්ධ කළ සෘජු ප්‍රතිලාභ හුවමාරු කිරීම්, සහනදායී ආහාර බෙදාහැරීම, ග්‍රාමීය විදුලි බලය ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් නැංවීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ඩිජිටල් සන්නිවේදනය ව්‍යාප්ත කිරීම මගින් ගෘහස්ථ ආර්ථික සුරක්ෂිතතාව සහ ආර්ථික සහභාගීත්වය ප්‍රබල ලෙස ශක්තිමත් විය.

එසේම, අවදානමට ලක්විය හැකි පවුල් වෙත නොමිලේ ධාන්‍ය වර්ග ලබාදීම මගින් මිලියන සංඛ්‍යාත ජනතාවක් ආහාර අසුරක්ෂිතතාවයෙන් සහ ආර්ථික කපනයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හැකි විය.

සුභසාධන සේවා ව්‍යාප්ත කිරීම සහ ඩිජිටල් මහජන යටිතල පහසුකම් වේගවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය ඇගයීමට ලක්විය යුතුය. කෙසේ වෙතත්, බුද්ධිමය නිරවුල්භාවයකින් බලන කල, මෙම දිළිඳුකම අඩුවීම යනු දශක ගණනාවක් පුරා සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ, කෘෂිකාර්මික දියුණුව, වෙළඳපල ව්‍යාප්තිය සහ අනුප්‍රාප්තික රජයන් විසින් දියත් කරන ලද වැඩසටහන්වල සමස්ත ප්‍රතිඵලය බව පිළිගත යුතුය.