November 19, 2026

දික්කසාද නඩු තීන්දුවක් කඩිනමින් ලබා දීම සඳහා රුපියල් 65,000ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බව කියන උතුරු කොළඹ කාති උසාවියේ විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාති උසාවියේම ලේකම්වරිය ලෙස සේවය කර ඇත්තේ ද මෙම විනිසුරුවරයාගේ බිරිඳ බව වාර්තා වේ.

ප්‍රමාදයකින් තොරව දික්කසාද නඩුවක තීන්දුවක් ලබා දීම වෙනුවෙන් සැකකරුවන් විසින් මෙම මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදු කරයි.