June 17, 2026

ලංකාවේ ප්‍රයිවට් බස් කිව්වම ඉතින් හැමෝටම මතක් වෙන්නේ පාරේ යන “රේස්” සහ කොන්දොස්තරලාගේ “ඇතුළට යන්න නංගි” සද්දේ විතරනේ. හැබැයි මෙන්න දැන් බස් ක්ෂේත්‍රයෙන් ඇඟ කිළිපොලා යන, හැබැයි ඒ වගේම හිනායන අමුතුම කතාවක් එළියට ඇවිත් තියෙනවා. ඒ වෙන මුකුත් නෙවෙයි, අපේ රටේ දුවන ප්‍රයිවට් බස්වලින් හතරෙන් එකක්ම දුවන්නේ ඩීසල්වලින් නෙවෙයිලු, කුස්සියේ ලිප පත්තු කරන්න ගන්න “භූමිතෙල්වලින්” ලු!

මේ සුපිරි හෙළිදරව්ව කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

ගැමුණු ජනමාධ්‍ය ඉස්සරහට ඇවිත් බොහොම කණගාටුවෙන් සහ කේන්තියෙන් කියපු විදිහට, බස් හිමියෝ රජයෙන් ඩීසල් ඉල්ල ඉල්ලා කෑගැහුවට, යටින් කරන්නේ මහම මහ ද්‍රෝහී වැඩක්. අහිංසක, අසරණ මිනිස්සුන්ට උයාගන්න, කුප්පි ලාම්පුවක් පත්තු කරගන්න රජයෙන් දෙන භූමිතෙල් ටිකට මේ බස් මුදලාලිලා විදලා තියෙනවා. ඩීසල් ගණන් නිසා ලාභය වැඩි කරගන්න හිතාගෙන මුදලාලිලා බස්වලට භූමිතෙල් හලන එක දැන් “නීතිවිරෝධී” ජාවාරමක් වෙලා කියලයි ගැමුණු කියන්නේ.

මේ අතරේ ඩීසල් මිල වැඩිවීම නිසා බස් ධාවනයත් සෑහෙන්න අඩුවෙලාලු. හැබැයි පුදුමේ කියන්නේ කොළඹ සෙට් එකට නම් බස් තියෙනවලු. හැබැයි ගම්වල අහිංසක මිනිස්සුන්ට යන්න බස් එකක් හොයාගන්න නැති තරම්ලු. දුර ගමන් බස් යන්නෙත් මගී වහල්ලු (සෙනඟ) හිටියොත් විතරලු. නැත්නම් ගමන් වාරවලින් 50%ක්ම කැන්සල්.

කොහොම වුණත් එළඹෙන ජූලි මාසෙදි ආර්ථික දර්ශක 12ක් බලලා බස් ගාස්තු වැඩි කරන්නලු හදන්නේ. හැබැයි බස් ලොක්කන්ට එතකල් ඉවසීමක් නෑ. “අනේ අපිට ඊට කලින් අතුරු ගාස්තු වැඩිවීමක් දෙන්නකෝ” කියලා රජයෙන් අඬමින් ඉල්ලනවා.

ඉදිරියේදී පාරේ යනකොට බස් එකකින් කළු දුම වෙනුවට කුස්සියක වගේ භූමිතෙල් සුවඳක් ආවොත් පුදුම වෙන්න එපා. මොකද දැන් ලංකාවේ බස් දුවන්නේ “ඩීසල් පවර්” එකෙන්.