November 29, 2026

සමාජ මාධ්‍යයේ පළවන නවතම විලාසිතාවන් අනුගමනය කිරීමට තරුණ පරම්පරාව දක්වන උනන්දුව, ඇඳුම් මිලදී ගැනීමේ පුරුදු පමණක් නොව ඒවා භාවිතයෙන් ඉවත් කරන ආකාරය ද වෙනස් කරමින් සති දෙක තුනක් ඇතුළත වෙනස් වන විලාසිතා රැල්ල හමුවේ තවදුරටත් භාවිත කළ හැකි ඇඳුම් පවා ඉවත දැමීමෙන් සිදුවන බලපෑම  අද වන විට ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද අවධානයට ලක්විය යුතු පාරිසරික අභියෝගයක් බවට පත්ව තිබේ. විශේෂයෙන් Gen Z තරුණ පරපුර අතර ජනප්‍රිය විලාසිතා සති දෙක තුනක් වැනි කෙටි කාලයකින් වෙනස් වීමත් සමඟ අලුත් ඇඳුම් මිලදී ගැනීම සහ පැරණි ඇඳුම් ඉවත දැමීම සාමාන්‍ය පුරුද්දක් වී තිබේ. Fast Fashion හෙවත් වේගවත් විලාසිතා සංස්කෘතිය ලෙස හඳුන්වන මෙම ප්‍රවණතාව ලෝකයේ රෙදිපිළි අපද්‍රව්‍ය ඉහළ යාමට ද බලපායි.

අද සමාජ මාධ්‍ය විවෘත කළ විට දක්නට ලැබෙන්නේ TikTok, Instagram සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල ජනප්‍රිය වන මොහොතින් මොහොත වෙනස් වන විලාසිතා ලෝකයකි.විලාසිතා වෙනස් කරමින් ජනප්‍රිය වන ඇඳුම් කෙරෙහි අවදානය යොමු  කිරීමට තරුණ පරම්පරාව අතර විශාල උනන්දුවක් පවතී. එක් කාලයක  විලාසිතාවක් තවත් සති කිහිපයකින් අභාවයට යන අතර, ඒ වෙනුවට අලුත් විලාසිතාවක් පැමිණෙයි.

විශේෂයෙන් Gen Z ලෙස හඳුන්වන තරුණ පරම්පරාවේ විලාසිතා තෝරාගැනීම් කෙරෙහි ඩිජිටල් මාධ්‍ය මහත්  බලපෑමක් ඇති කර ඇති බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස ඇඳුම් මිලදී ගැනීම අවශ්‍යතාවක් මත පමණක් නොව, අලුත් විලාසිතාවක් අත්හදා බැලීමෙන් සමාජ මාධ්‍ය තුළ තම ප්‍රතිරූපය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය  අවශ්‍යතාවක් බවට  පත් වී ඇත.

මේ හේතුවෙන් වේගවත් නිෂ්පාදන, අලෙවි සහ පරිභෝජන රටාව Fast Fashion සංස්කෘතියක් ලෙස අද වනවිට ව්‍යාප්ත වී පවතී.

මෙහිදී අලුත් විලාසිතා ඉතා කෙටි කාලයකින් වෙළෙඳපොළට හඳුන්වාදීම පමණක් නොව අඩු මිලට ඇඳුම් ලබාදීමත් සිදුවේ. නමුදු මෙම විලාසිතා සංස්කෘතියේ ආකර්ෂණීය පෙනුම පිටුපස සැඟවී ඇති පාරිසරික මිල පිළිබඳව  පාරිභෝගිකයන්ගෙ අවබෝධය  කොපමණද  තිබේද යන්න ගැටලුවක් පවති.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) 2025 වසරේ නිකුත් කළ “Transforming the Textile Industry – Learning to Manage Waste, Better” වාර්තාවට අනුව, විලාසිතා සදහා ලෝකය තුළ වසරකට රෙදිපිළි අපද්‍රව්‍ය ටොන් මිලියන 92ක් පමණ ජනනය වේ. එහි ප්‍රමාණය සලකා බැලීමේදි සෑම තත්පරයකදීම ඇඳුම් පිරවූ කසළ ට්‍රක් රථයක් කසල මධ්‍යස්ථානයකට යැවීම හෝ පුළුස්සා දැමීමට යොමුකරයි.

 

එම වාර්තාව අනුව  2023 වසර වන විට 8% පමණක් ලෝකයේ රෙදිපිළි තන්තු නිෂ්පාදනයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ අමුද්‍රව්‍යවලින් නිපදවා තිබේ. නමුත්  භාවිතයෙන් ඉවත් කළ රෙදිපිළි නැවත රෙදිපිළි බවට පත්කරන ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සමස්ත තන්තු වෙළෙඳපොළෙන් 1% අඩු මට්ටමක් ලෙසටය.

මෙම අනුව පැහැදිවම පෙනි යන්නේ ඇඳුම් නිෂ්පාදනය සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් වැයවන නමුත් භාවිතයෙන් පසු ඒවා නැවත ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රමවේද තවමත් ප්‍රමාණවත් තත්ත්වයට පැමිණ නොමැති බවයි.

ලෝකයේ හරිතාගාර වායු විමෝචනයෙන් 2-8 % ත් අතර ප්‍රමාණයකට රෙදිපිළි කර්මාන්තය දායකත්වය සපනයන බවට UNEP හි 2025 වසරේ “Transforming the Textile Industry –  Accelerating Action on Resource Use” වාර්තාවෙන් පැහැදිලි වේ. තවද මෙම කර්මාන්තය වෙනුවෙන් වසරකට ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාක මිලියන 86කට සමාන ස්වභාවික ජල සම්පත් ප්‍රමාණයක් වැයවන අතර විශේෂයෙන් පොලියෙස්ටර් වැනි කෘත්‍රිම තන්තු නිෂ්පාදනය සඳහා පොසිල ඉන්ධන මත පදනම් වූ අමුද්‍රව්‍ය භාවිත කිරීම ද පාරිසරික ගැටලු තවදුරටත් උග්‍ර කරයි. එමෙන්ම  එවැනි  ඇඳුම් සේදීමේදී ඉතා කුඩා ප්ලාස්ටික් තන්තු පරිසරයට එක්වීමේ අවදානමක් ද පවතී.

එක්සත් ජාතීන්ගේ යුරෝපා ආර්ථික කොමිසමේ 2026 ජුනි වාර්තාවට අනුව, 2024 වන විට ලෝකයේ තන්තු නිෂ්පාදනය ටොන් මිලියන 132ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාව ද පාවිච්චි කළ ඇඳුම් ආනයනය පාලනය කිරීමට ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇත. පරිසර අමාත්‍යාංශයේ 2025 ප්‍රගති වාර්තාවට අනුව, 2025 ජනවාරි 9 වැනිදා මේ සම්බන්ධයෙන් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර, පෙබරවාරි 4 වැනිදා කැබිනට් තීරණයක් ගෙන තිබේ. ඒ අනුව වාර්ෂික ආනයන කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක කර 2027 වසර අවසානය වන විට පාවිච්චි කළ ඇඳුම් ආනයනය ක්‍රමයෙන් නතර කිරීම අරමුණ වී තිබේ.

එහෙත් මෙරට රෙදි අපද්‍රව්‍ය ගැටලුවට හේතුව ආනයනික ඇඳුම් පමණක් නොවේ. 2023 වසරේ ප්‍රකාශයට පත් කළ Uncovering the Circular Economy Potential of Industrial Waste in Sri Lanka පර්යේෂණ වාර්තාවට අනුව, අධ්‍යයනයට ඇතුළත් කළ ඇඟලුම් කර්මාන්තශාලා 120කින් 2022 වසරේදී රෙදි අපද්‍රව්‍ය ටොන් 28,745.3ක් ජනනය වී තිබේ. එම කර්මාන්තශාලාවල නිෂ්පාදනය ටොන් 288,456.6ක් වන අතර අපද්‍රව්‍යවලින් සියයට 88.3ක් පමණ රෙදි කැබලි වේ. මෙය තෝරාගත් කර්මාන්තශාලා 120ක දත්ත පමණක් වීම ද විශේෂත්වයකි.ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයකි. එහෙත් එම කර්මාන්තය තුළ නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉතිරි වන රෙදි කොටස් මෙන්ම පාරිභෝගිකයන් භාවිතයෙන් ඉවත් කරන ඇඳුම් ද අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විශාල අභියෝගයක් මතුකර ඇත.

කොළඹ නාගරික ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ පශ්චාත් පාරිභෝගික රෙදිපිළි අපද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයක් 2022 වසරේ “The Journal of the Textile Institute” සඟරාවේ පළ කර තිබේ. එම අධ්‍යයනය සඳහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා, අපද්‍රව්‍ය කළමනාකරණ යටිතල පහසුකම් පිළිබඳ අධ්‍යයනයක් සහ දිවයින පුරා පාරිභෝගිකයන්ගේ ඇඳුම් බැහැර කිරීමේ හැසිරීම් පිළිබඳ සමීක්ෂණයක් යොදාගෙන තිබේ.

තවද, මෙය ශ්‍රී ලංකාවට පමණක් අදාළ නොවන නමුත් මෙරට තරුණ පරම්පරාවේ ඇඳුම් බැහැර කිරීමේ ක්‍රියාපටිපාටිය  පිළිබඳව ද පර්යේෂණ මඟින් කරුණු අනාවරණය වී තිබේ. 2026 වසරේ “International Conference on Facilities Management Futures” සමුළුව සඳහා ඉදිරිපත් කර ඇති “Post-consumer fashion disposal behaviour and its implications for circular facilities management: Evidence from Sri Lankan Gen Z consumers” නම් පර්යේෂණය ඒ අතරින් වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ Gen Z පාරිභෝගිකයන් ඇඳුම් භාවිතයෙන් ඉවත්කරන ආකාරය පිළිබඳව සිදුකළ මෙම ගුණාත්මක පර්යේෂණයේදී අර්ධ ව්‍යුහගත සම්මුඛ සාකච්ඡා මගින් ඇඳුම් ඉවත දැමීම හුදෙක් පාරිසරික දැනුවත්භාවය මත තීරණය වන ක්‍රියාවක් නොවන බවට කරුණු අනාවරණය වී තිබේ. එයට සංස්කෘතික පුරුදු මෙන්ම ඇඳුම් සමඟ ඇති මානසික බැඳීම හා ඒවා නැවත භාවිත කිරීමට පවතින පහසුකම්වල හිඟය සහ එදිනෙදා පහසුව වැනි කරුණු ද බෙහෙවින් බලපායි.

එම පර්යේෂණය තුළින්  ඇඳුම් භාවිතයෙන් ඉවත් කිරීමේදි  ප්‍රධාන ක්‍රම හයක් හඳුනාගෙන ඇත. ඒ අනුව පුළුස්සා දැමීම, ඉවත දැමීම, භාවිත නොකර ගබඩා කර තැබීම, වෙනත් කාර්යයක් සඳහා නැවත සකස් කර භාවිත කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ පරිත්‍යාග කිරීමයි  එයට ඇතුළත් වෙයි. ඒ අනුව මෙහිදී විශේෂයෙන් අවධානයට ලක්වන්නේ පරිසරය පිළිබඳ දැනුවත්භාවයක් පැවතිය ද ඇඳුම් බැහැර කිරීමේදී ප්‍රායෝගික පහසුකම් සහ පවතින සමාජ පුරුදු මත තීරණ ගැනීමේ ප්‍රවණතාවයි. එනම් පරිසරය සුරැකිය යුතු බව දැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහ විකල්ප ද සමාජය තුළ පැවතිය යුතු බවට පෙන්නුම් කරයි.

කෙසේ වෙතත්, S. Jayakodi, M. Thayaparan සහ S. Senaratne යන පර්යේෂකයන් 2025 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සමුළුවේදී ඉදිරිපත් කළ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ රෙදි අපද්‍රව්‍ය බැහැර කිරීමේදී කසළ ගොඩකිරීම සහ දහනය කිරීම ප්‍රධාන ක්‍රම ලෙස භාවිත වන බවයි.ඒ අනුව රෙදිපිළි අපද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීමේදී පාරිභෝගිකයන්ගේ හැසිරීම් වෙනස් කිරීම පමණක් නොව, ඒවා එකතු කිරීම, වෙන් කිරීම සහ නැවත භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ද ගොඩනැඟිය යුතු බව පැහැදිලි කරුණු බවට පෙනේ.

තවද, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තුළ ජනනය වන අපද්‍රව්‍ය පිළිබඳව ද පර්යේෂණ කිහිපයක් සිදුකර තිබේ. 2021 වසරේ “Journal of Research Technology & Engineering” සඟරාවේ පළවූ “Waste Flow Analysis in Textile and Apparel Sector: A Case Study of Textile and Apparel Wet Processing Industries in Sri Lanka” පර්යේෂණය ඒ අතර වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

බස්නාහිර පළාතේ ඇඟලුම් සේදීමේ කර්මාන්තශාලා, වර්ණ ගැන්වීමේ කර්මාන්තශාලා සහ රෙදි නිෂ්පාදන කර්මාන්තශාලා ඇතුළු ආයතන 20ක් ආශ්‍රයෙන් මෙම අධ්‍යයනයෙන් නිෂ්පාදන ක්‍රියාවලියේදී ජනනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය, ඒවායේ සංයුතිය සහ කළමනාකරණ ක්‍රමවේද පිළිබඳව අවධානය යොමු කර ඇත. මෙහිදී කර්මාන්තශාලා ප්‍රමාණය සහ නිෂ්පාදන ක්‍රියාවලිය අනුව අපද්‍රව්‍ය ජනනය වීමේ ප්‍රමාණය වෙනස් වන බව පැහැදිලිවම හඳුනාගත් කරුණකි. එමෙන්ම 2024 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයේ ඉදිරිපත් කරන ලද ශාස්ත්‍රපති පර්යේෂණයකින් ශ්‍රී ලංකාවේ අපනයන ඉලක්ක කරගත් ඇඟලුම් නිෂ්පාදකයන්ගේ රෙදිපිළි අපද්‍රව්‍ය කළමනාකරණ තත්ත්වය විමර්ශනය කිරීමේදී කර්මාන්තශාලා සංචාර, සම්මුඛ සාකච්ඡා, මත විමසුම් සහ සාහිත්‍ය සමාලෝචන මත පදනම් වූ එම අධ්‍යයනයෙන් කර්මාන්තශාලා තුළ අපද්‍රව්‍ය නැවත භාවිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ උත්සාහයන් පවතින බව අනාවරණය කර ඇත. කර්මාන්ත කලාප තුළ ඇතැම් කර්මාන්තශාලා Zero Landfill තත්ත්වය අත්කරගෙන ඇති බව ද එහිදී අනාවරණය විය.කෙසේ වෙතත් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි රෙදිපිළි අපද්‍රව්‍ය බලශක්තිය නිපදවීම සඳහා භාවිත කිරීම ඇතුළු වෙනත් කළමනාකරණ ක්‍රම ද දැනට ක්‍රියාත්මක වුවද වඩාත් කාර්යක්ෂම සහ පිරිවැය අඩු ප්‍රතිචක්‍රීකරණ තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධනය තවදුරටත් අවශ්‍ය බව ද එම අධ්‍යයනය අවධාරණය කරයි.

තාක්ෂණික විසඳුම් ඔස්සේ කසළ කළමනාකරණය

පරිසර දූෂණය අවම කරමින් සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීමේ අරමුණින් කසළ කළමනාකරණ ක්ෂේත්‍රයට නව තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් අවශ්‍ය ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ සහ නියාමන ක්‍රමවේද සකස් කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා පැවසීය.කසළ එකතු කිරීම හා බැහැර කිරීමේ වගකීම පළාත් පාලන ආයතන සතු වුවද, එම කටයුතු පරිසර හිතකාමීව සිදුකිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය බවද ඔහු සඳහන් කළේය.එමෙන්ම, කසළ කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ පර්යේෂකයන් සමඟ එක්ව නව තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ. විශේෂයෙන් කසළ කළමනාකරණ ක්‍රියාවලියේදී සිදුවන කාබන් විමෝචනය අවම කිරීම සහ පරිසර හිතකාමී තාක්ෂණික ක්‍රමවේද භාවිතය මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. මෙවැනි ක්‍රියාමාර්ග හරිත සංක්‍රාන්තියේදී අවධාරණය කෙරෙන අඩු කාබන් ආර්ථිකයක් සහ තිරසර පරිසර කළමනාකරණයක් ගොඩනැඟීමට දායක වනු ඇත.මේ අතර, බාසල් සම්මුතිය යටතේ මෙරටට ආනයනය කරන කසළ සහ භාවිත කළ ද්‍රව්‍ය නියාමනය කිරීමටද පියවර ගෙන තිබේ. ඒ අනුව භාවිත කළ ඇඳුම් ආනයනය ක්‍රමිකව අඩු කර අවසානයේ සම්පූර්ණයෙන් නතර කිරීමේ අරමුණින් කෝටා ක්‍රමයක් හඳුන්වා දී ඇති බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉවතලන රෙදිවලට නැවත වටිනාකමක් ලබාදීමේ හැකියාව ද මෙරට තුළ පවතී. Ample.lk නිර්මාතෘ උපේකා තිළිණි මාලි ඉවතලන රෙදි නැවත නූල් සහ රෙදි නිෂ්පාදනයට යොදාගැනීමේ හැකියාව පෙන්වා දී තිබේ. කිලෝග්‍රෑම් 5,000කට වැඩි රෙදි ප්‍රමාණයක් නැවත නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගැනීමේ අත්දැකීම් ද ඇයට තිබේ. House of Lonali නිර්මාතෘ ලෝනාලි රොද්‍රිගෝ ද ඉවතලන රෙදිවලින් නව නිෂ්පාදන නිර්මාණය කරමින් තිරසාර විලාසිතා ප්‍රවර්ධනය කරයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ Institute for Manufacturing ආයතනයේ ආචාර්ය කියුරි පාර්ක් ද මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර තිබේ.

එසේම, ඇඟලුම් කර්මාන්තශාලාවලින් ඉවත දමන කුඩා රෙදි කැබලි පවා නැවත ප්‍රයෝජනයට ගනිමින් පරිසර හිතකාමී ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යාපාර මඟින් ඇඟලුම් කර්මාන්තශාලාවලින් ඉවත් කරන රෙදි කැබලි එකතු කර, ඒවායේ තත්ත්වය හා රෙදි වර්ගය අනුව වෙන්කර අවශ්‍ය ප්‍රමාණයට සකස් කරනු ලබයි. අනතුරුව එම රෙදි කැබලි වාහන අලුත්වැඩියා මධ්‍යස්ථාන ඇතුළු විවිධ කාර්මික ආයතනවල භාවිතයට අවශ්‍ය පිරිසිදු කිරීමේ රෙදි ලෙස නැවත නිෂ්පාදනය කරයි. විශේෂයෙන්ම වාහන එන්ජින්, යන්ත්‍රෝපකරණ සහ තෙල් හා ග්‍රීස් සහිත කොටස් පිරිසිදු කිරීම සඳහා මෙම රෙදි යොදාගැනේ. මෙලෙස ඉවත දමන රෙදි කැබලිවලට නැවත ආර්ථික වටිනාකමක් එක් කිරීමෙන් එක් පැත්තකින් රෙදි අපද්‍රව්‍ය පරිසරයට බැහැර වීම අවම වන අතර අනෙක් පැත්තෙන් නව ආදායම් මාර්ග සහ රැකියා අවස්ථා ද නිර්මාණය වේ.

 

විසඳුම ඇත්තේ ඇඳුම් මිලදී නොගැනීම තුළමද? මෙහිදී ගොඩනැගෙන මතවාද සාධාරණද?

Fast Fashion ගැටලුවට විසඳුම ඇඳුම් මිලදී ගැනීමෙන්ම සම්පූර්ණයෙන් නතර කිරීම හැකියාවක් ඇති දෙයක් නොවේ. ඒ වෙනුවට ඇඳුම් භාවිත කරන කාලය දීර්ඝ කිරීම, අනවශ්‍ය මිලදී ගැනීම් අවම කිරීම සහ භාවිතයෙන් ඉවත් කරන ඇඳුම් නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා ක්‍රමවේද ගොඩනැඟීම වැදගත් වේ බවට දැනට හඳුනාගත් ක්‍රමවේදයන් වේ.

අපද්‍රව්‍ය සහ දූෂණය අවම කිරීම, නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය හැකි උපරිම කාලයක් භාවිතයේ පවත්වා ගැනීම සහ ස්වභාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීම පිළිබඳව Ellen MacArthur Foundation විසින් විලාසිතා ක්ෂේත්‍රය සඳහා ඉදිරිපත් කරන චක්‍රීය ආර්ථික (Circular Economy) සංකල්පය ද අවධාරණය කරයි. මෙහිදී Slow Fashion සංකල්පය වැදගත් වේ. එනම් ඉතා කෙටි කාලයකින් වෙනස් වන විලාසිතා පසුපස හඹා යෑම වෙනුවට කල්පවතින, ගුණාත්මක ඇඳුම් තෝරා ගැනීම සහ ඒවා දිගු කාලයක් භාවිත කිරීමයි. එමෙන්ම Upcycling ක්‍රමවේදය යටතේ පැරණි ඇඳුම්වලින් නව නිර්මාණ බිහිකළ හැකිය. ඇඳුම් අලුත්වැඩියා කිරීම, වෙනත් පුද්ගලයන්ට පරිත්‍යාග කිරීම, දෙවන වරට භාවිත කරන ඇඳුම් වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම ද මෙහිදී වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ Gen Z පරම්පරාව අතර දෙවන වරට භාවිත කරන ඇඳුම් පිළිබඳ අවධානය ද වර්ධනය වෙමින් පවතින බව 2023 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයේ පළවූ “Thrift Fashion Among Generation Z” පර්යේෂණය පෙන්වා දෙයි. එහිදී දැරිය හැකි මිල, සමාජ මාධ්‍ය, සුවිශේෂී විලාසිතා සහ පාරිසරික දැනුවත්භාවය එම වෙළෙඳපොළ කෙරෙහි තරුණ ප්‍රජාවගේ උනන්දුවට බලපාන සාධක ලෙස හඳුනාගෙන ඇත.

මෙම ගැටලුවේදී පාරිභෝගිකයන් සහ පරිසරය පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ සේවය කරන කාන්තාවන්, අඩු ආදායම්ලාභී කම්කරුවන්, රෙදිපිළි අපද්‍රව්‍ය එකතු කරන සේවකයන් සහ කුඩා පරිමාණයේ ඇඳුම් නිෂ්පාදකයෝ ද මෙහි වැදගත් පාර්ශ්වකරුවෝ වෙති. ඔවුන් හරිත සංක්‍රාන්තියේදී අමතක කළ නොහැකි පිරිසක් බව මතක තබා ගත යුතුමය.පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රමවේද හඳුන්වාදීමේදී ඒ සඳහා වැයවන අමතර පිරිවැය කුඩා ව්‍යාපාරවලට අසාධාරණ බරක් නොවිය යුතුය. එමෙන්ම කර්මාන්තශාලාවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය, වැටුප් සහ සේවා කොන්දේසි ද ආරක්ෂා කළ යුතුය.එබැවින් හරිත සංක්‍රාන්තිය යනු පරිසර දූෂණය අවම කිරීම පමණක් නොව, එම වෙනස සිදුවන අතරතුර එයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට සාධාරණ අවස්ථා සහ ආරක්ෂාව ලබාදීම පිළිබඳවද සැලකිලිමත් විය යුතුමය.

විලාසිතා යනු පුද්ගල අනන්‍යතාව සහ නිර්මාණශීලීත්වය ප්‍රකාශ කරන මාධ්‍යයකි. එය වැළැක්විය හැකි දෙයක් හෝ වැලැක්විය  යුතු දෙයක් නොවේ. එහෙත් එක් විලාසිතාවක් වෙනුවෙන් මිලදී ගන්නා ඇඳුම තවත් විලාසිතාවක් පැමිණි විට භාවිතයෙන් ඉවත් කිරීම සාමාන්‍ය පුරුද්දක් බවට පත්වුවහොත් එහි පාරිසරික වියදම ගෙවීමට සිදුවන්නේ සමස්ත සමාජයටමය.

සමාජ මාධ්‍ය තුළින් නව විලාසිතා හඳුන්වාදෙන තරුණ පරම්පරාවටම තිරසර විලාසිතා ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ද පවතී. අනවශ්‍ය මිලදී ගැනීම් අවම කරමින් ඇඳුම් දිගුකාලීනව භාවිත කිරීම සහ නැවත ප්‍රයෝජනයට ගැනීම තුළින් පරිසරයට සිදුවන හානිය අවම කළ හැකිය. විලාසිතා වෙනස් වුවද පරිසරය සුරැකීමේ වගකීම වෙනස් නොවිය යුතුය.

-පියුමි සසංගි