August 1, 2026

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරුව වන රුමේෂ් තරංග වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත:

“පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඔබ දිනාගත් රන් පදක්කම අපගේ දේශයේ රන් සිහිනය සැබෑවක් බවට පත් කළා. ඔබට උණුසුම් සුබ පැතුම්, රුමේෂ් තරංග!”

ශ්‍රී ලංකා වේලාවෙන් අද (1) උදෑසන ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති පිරිමි හෙල්ල විසිකිරීමේ අවසාන තරගයේදී මීටර් 89.75ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් රුමේෂ් තරංග මෙම රන් පදක්කම හිමිකර ගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් සඳහා ශ්‍රී ලංකාව වසර 20ක් පුරා තැබූ බලාපොරොත්තුව සඵල විය.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් දිනාදුන්නේ 2006 මෙල්බර්න් ක්‍රීඩා උළෙලේදී බර එසවීමේ ක්‍රීඩක චින්තන විදානගේ විසිනි.

මෙය 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව හිමිකරගත් දෙවැනි පදක්කම ද වේ.