February 13, 2026

බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලැබූ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට සහ එහි නායක තරීක් රහ්මාන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර ඇත.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය නැවත තහවුරු කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ජනතාවට සුභ පැතුම් එක්කරන බවයි.

මහමැතිවරණයේ ප්‍රතිපලවලින් පෙන්නුම් කෙරෙන්නේ, බංග්ලාදේශ ජනතාව තරීක් රහ්මාන් වෙත තබා ඇති විශ්වාසය බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට ද ඔහු බලාපොරොත්තු වන බවයි.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගෙන ඇති අතර, දේශපාලන විචාරකයින් පවසන්නේ එය රට දේශපාලන වශයෙන් ස්ථාවරත්වයට පත්කරනු ඇතැයි අපේක්ෂා කරන තීරණාත්මක ඡන්දයකින් හිමිවූ ප්‍රබල ජනවරමක් බවයි.

හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ රජය පෙරළා දමමින් 2024 ආරම්භ වූ මහජන විරෝධතා මාලාවෙන් අනතුරුව බංග්ලාදේශයේ පැවති පළමු ඡන්ද විමසීම එය විය.

ඡන්ද ප්‍රතිපල අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 300 න් 212 ක බහුතරයක් දිනා ගැනීමට බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සමත් වී සිටියි.