August 2, 2026

බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුරය යන ප්‍රදේශවල පිහිටි ජනාධිපති නිල නිවාස සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා පෞද්ගලික ආයෝජකයන්ට දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයත් එක්ක දේශපාලන ක්ෂේත්‍රයේ ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.

මේ වැඩේ ගැන තමන්ගේ දැඩි අප්‍රසාදය පළකරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා සිය ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් කියලා තියෙන්නේ, ඓතිහාසික වටිනාකමක් තියෙන මෙවැනි රාජ්‍ය ගොඩනැගිලි වාණිජ කටයුතු සඳහා යොදාගැනීම හුදෙක් දේපළ කළමනාකරණයක් හෝ ආදායම් උපයන මාර්ගයක් විදිහට විතරක් දකින්න බෑ කියලා.

“මේවා නිකම්ම නිකම් රජයේ දේපළ නෙවෙයි. මේවා පිටුපස ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය, වාස්තු විද්‍යාත්මක උරුමය සහ ජාතික මතකයන් ගැබ්වෙලා තියෙනවා. ඒ නිසා මේවයේ වටිනාකම බදු ආදායමෙන්, ආයෝජන විභවයෙන් හෝ නඩත්තු පිරිවැයෙන් විතරක් මනින්න බෑ,” කියලා ඔහු කියනවා.

තවදුරටත් අදහස් දක්වන චරිත හේරත් කියන්නේ, මේ වගේ ඓතිහාසික ස්ථානයක් දීර්ඝකාලීනව පෞද්ගලික අංශයට පැවරුවාම, ඒවයේ මුල් පෙනුම වෙනස් වීම, මහජනතාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ ඇහිරීම සහ මුල් ඓතිහාසික ලක්ෂණ අහිමි වීම නැවත කිසිදා නිවැරදි කරන්න බැරි වෙන්න පුළුවන් බවයි.

ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරමින් යම් යම් භාවිතයන්ට ගැනීම ගැටලුවක් නැතත්, ඒ හැමදේම සිදුවිය යුත්තේ ආයෝජකයන්ගේ වාණිජමය අවශ්‍යතාවලට අනුව නොව ගොඩනැගිල්ලේ ඓතිහාසික වටිනාකමට මුල්තැන දෙමින් බවයි චරිත හේරත් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.