November 2, 2026

සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා රජය ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත මගින් පොලිස් නිලධාරීන්ට බලතල දීමෙන් පොලිස් නිලධාරීන් වයින් ස්ටෝර්ස්වලින් මත්පැන් බෝතල් ඉල්ලා සිටීම වැනි ගැටලු වැඩිවීමේ ඉඩක් පවතින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම පවසයි.

ඔහු පෙන්වා දුන්නේ තම අත්දැකීම්වලට අනුව ඇතැම් අවස්ථාවල බලපත්‍රලාභීන්ගෙන් මත්පැන් බෝතල් ඉල්ලා සිටීම සහ ඒවා නොදුන් විට අසාධාරණ ලෙස නඩු පැවරීම වැනි සිදුවීම් මීට පෙරද වාර්තා වී ඇති බවයි.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය වශයෙන් මැදිහත්වීමට සිදුවූ බවද එම සංගමය නිකුත් කළ නිවේදනයක අවධාරණය කර ඇත.

මෙම පසුබිම තුළ පොලිසියට තවදුරටත් බලතල දීමේදී ඒවා අධීක්ෂණය කිරීමේ සහ අනිසි භාවිතය වැළැක්වීමේ විධිමත් ක්‍රමවේදයක්ද පනතට ඇතුළත් විය යුතු බව ඔහුගේ අදහසයි.

එමනිසා පොලිස් නිලධාරීන්ට ලබාදීමට යෝජිත බලතල සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, මෙම බලතල අනිසි ලෙස භාවිත වුවහොත් මත්පැන් බෙදාහැරීමේ කටයුතුවල නිරත ප්‍රවාහන ආයතන සහ ලොරි රථ හිමිකරුවන්ටද ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බවත්, ඔහු පවසයි.

දූෂණය, අක්‍රමිකතා සහ නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඬලීම සඳහා රජය ගන්නා පියවරවලට තම සංගමය සහාය දක්වන නමුත්, මේ ක්‍රියාවලියේදී පොලිස් බලතල අනිසි ලෙස භාවිත වීමෙන් බලපත්‍රලාභීන්ගේ සහ සාමාන්‍ය ව්‍යාපාරිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ඉඩ නොතැබිය යුතු බව ඔහු අවධාරණය කරයි.

පනත් කෙටුම්පත ක්‍රියාත්මක වීමේදී පොලිස් නිලධාරීන්ට ලැබෙන බලතල භාවිත කළ හැකි අවස්ථා සහ සීමාවන් පැහැදිලිව නිර්වචනය කිරීමත්, නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමත් අත්‍යවශ්‍ය බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

නව පනත් කෙටුම්පතේ පොලිස් බලතල පිළිබඳ III වන කොටස යටතේ වාහන නැවැත්වීම, ඒවායේ පාලනය පොලිසිය යටතට ගැනීම සහ විමර්ශන සඳහා තොරතුරු ලබාගැනීම සම්බන්ධ විධිවිධාන ඇතුළත් කර තිබේ. 38 සහ 39 වගන්ති මගින් වාහන නැවැත්වීම සහ ඒවායේ පාලනය භාරගැනීම සම්බන්ධ බලතල දක්වා ඇත.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ පළමු උපලේඛනයට සුරාබදු ආඥාපනතේ 46 වැනි වගන්තිය නීති විරෝධී ආනයනය සම්බන්ධ වැරදි හා දඬුවම්වලටත්, 47 වැනි වගන්තිය නීති විරෝධී සන්තකයේ තබාගැනීම සහ ප්‍රවාහනයටත්, 48 වැනි වගන්තිය බලපත්‍රලාභියකු විසින් සිදුකරන විෂමාචාරවලටත් අදාළ වේ.

මෙම වගන්තිවලට අමතරව සුරාබදු ආඥාපනතේ 19, 28A සහ සුරාබදු නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් සහ නීති විරෝධී ක්‍රියාවලට අනුබල දීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන ඇතුළත් 49 වැනි වගන්තිද අදාළ නීතිමය රාමුවට ඇතුළත් කිරීම පිළිබඳව සලකා බැලිය යුතු බව ඔහු යෝජනා කරයි.

එබැවින් පොලිස් බලතල, සුරාබදු නිලධාරීන්ගේ වගකීම්, බලපත්‍රලාභීන්ගේ අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව පනත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි පාර්ලිමේන්තු සාකච්ඡාවලදී අවධානය යොමු කරන ලෙසත් සභාපති අජිත් උඩුගම ඉල්ලා සිටියි.

(උපුටාගැනීම – අරුණ පුවත්පත)