November 2, 2026

ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ නේවාසික ප්‍රදේශයකට ජෙට් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් නවදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකානු ප්‍රවාහන ලේකම්වරයා තහවුරු කරයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පාම් බීච් කවුන්ටි හි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මා-අ-ලාගෝ නිකේතනයේ සිට කිලෝමීටර 14ක් පමණ දුරින් පිහිටි ක්‍රෙස්ට්හැවන් ප්‍රදේශය ආසන්නයේදීය.

අනතුරින් පසු ලබාගත් ඡායාරූපවල දැක්වෙන්නේ නේවාසික මාර්ගයක් මැද විශාල ආවාටයක් නිර්මාණය වී ඇති අතර, Learjet 60 වර්ගයේ එම ගුවන් යානයේ කොටස් සහ තවත් සුන්බුන් ගිනි ගනිමින් නගරය පුරා විසිවී ගොස් ඇති ආකාරයයි.

ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ටෙක්සාස්හි ඕස්ටින් නුවරින් ගමන් ආරම්භ කළ මෙම යානය බහාමාස් දූපත් වෙත පියාසර කරමින් තිබූ එකක් බවයි.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා සහ ගුවන් ගමන් විශ්ලේෂණයන් පෙන්වා දෙන්නේ ජෙට් යානය කඩා වැටීමට පෙර තත්පරයකට අඩි සිය ගණනක වේගයෙන් පහළට කඩා වැටී ඇති බවයි.

අනතුර සිදුවීමට මොහොතකට පෙර පටිගත වූ ගුවන් ගමන් පාලන හඬ පටයන්ට අනුව, යානය මිනිත්තුවකට අඩි 10,000ක වේගයෙන් පහළට ඇදී යන බව නියමුවා පවසන හඬ ඇසෙන බව CBS පුවත් සේවය වාර්තා කරයි. ඉන්පසු හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින්, “අපගේ වේගය පාලනයෙන් තොරයි, මිනිත්තුවකට අඩි 20,000ක වේගයෙන් යානය පහළට ඇදී යනවා” යනුවෙන් නියමුවා කෑගසා තිබේ.

“අපි කඩා වැටෙන්න යනවා… අපිට තවත් වේලාවක් නැහැ,” යනුවෙන් නියමුවා අවසානයේ පාලන මැදිරියට දැනුම් දී ඇත.

සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති මෝටර් රථයක කැමරාවක පටිගත වූ බවට විශ්වාස කෙරෙන වීඩියෝවක අනතුර සිදුවූ මොහොත දැක්වේ. සාමාන්‍ය පරිදි වාහන ධාවනය වන නේවාසික මාර්ගයක් වෙත එකවරම ගුවන් යානය සිරස් අතට කඩා වැටී විශාල ගිනි බෝලයක් බවට පත්වෙමින් පිපිරී යන ආකාරය එහි සටහන්ව ඇත.

අනතුරින් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ෆ්ලෝරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ප්‍රකාශ කළේ, “ඒ වීඩියෝව දැක්කම ඕනෑම කෙනෙක් භීතියට පත්වෙනවා. එය හරියට මිසයිලයක් පහළට කඩා වැටෙනවා වගේ. විශාල පිපිරීමක් එක්ක සුන්බුන් හැමතැනම විසිවී ගියා,” යනුවෙනි.