June 10, 2026

දීර්ඝතම කාලයක් ඉන්දියාව අග්‍රාමාත්‍ය ධූරයේ රැඳී සිටි, ජනතාව විසින් තෝරා පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින් ඉතිහාසගත වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමත් විය.

ඒ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලෝක නායකයන් රැසකගෙන් සුබපැතුම් හිමිව තිබේ.

‘ගෝලීය දකුණ’ වෙනුවෙන් ඔහුපෙනී සිටීම මෙන්ම, සියලුදෙනා ඇතුළත් කරගත් ආර්ථිකමය වශයෙන් ගතික ඉන්දියාවක් ගොඩනැඟීම උදෙසා ඔහු සතු දැක්ම ද මෙහිදී ලෝක නායකයන්ගේ ඇගයීමට ලක්ව ඇත.

ජූනි 8 වැනිදා දිනැති ලිපියක් මඟින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා රජයේ සහ සමස්ත ලාංකීය ජනතාවගේ උණුසුම් සුබපැතුම් අගමැති මෝදි වෙත පිරිනමා තිබේ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, “මෙම සන්ධිස්ථානය ඔබතුමා ධුරයේ රැඳී සිටි වසර ගණනාව පිළිබඳ සහතිකයක් පමණක් නොව, ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ ජනතාව ඔබතුමාගේ නායකත්වය කෙරෙහි නැවත නැවතත් තැබූ විශ්වාසය පිළිබඳ මනා සාක්ෂියක්” වන බවයි.

එසේම, ඉන්දියාව අත්කරගෙන ඇති කැපීපෙනෙන ආර්ථික හා සමාජයීය පරිවර්තනය අගය කර ඇති ජනාධිපතිවරයා, නරේන්ද්‍ර මෝදිගේ දූරදර්ශී දැක්ම ඉන්දීය දේශසීමාවලින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට ද ආදර්ශයක් වී ඇති බව පෙන්වාදී ඇත.