August 12, 2024

ඕස්ට්‍රේලියාවේ උතුරු සංචාරක නගරයක් වන කේර්න්ස් හි හිල්ටන් හෝටලයකට අද අනවසරයෙන් පියාසර කළ හෙළිකොප්ටරයක් ​​කඩාවැටී තිබේ.

අනතුරින් නියමුවා මියගිය අතර යානය කඩාවැටීමෙන් හෝටලයේ ගින්නක් හටගෙන ඇති බවත් ඒ හේතුවෙන් හෝටලයේ සිටි අමුත්තන් සිය ගණනක් හෝටල් බලධාරීන් විසින් ඉවත් කර ඇත.

ද්විත්ව එන්ජින් හෙළිකොප්ටරය හෝටලයේ වහලයේ වැදී එහි කොටසක් ගිනිගෙන ඇති බව පැවසේ.

ඕස්ට්‍රේලියානු වේලාවෙන් අද අලුයම 2ට පමණ මෙම අනතුර හේතුවෙන් හදිසි තත්වයක් මතුවූ බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

හෙළිකොප්ටරය අනවසර ගුවන් ගමනක් සඳහා කේර්න්ස් ගුවන් තොටුපළෙන් රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවසූ නමුත් සිද්ධිය විස්තර කර නැත.

හෙළිකොප්ටරය රැගෙන යෑමට හේතුව තවමත් හඳුනාගෙන නොමැති අතර එහි තනිවම පියාසර කරමින් සිටි හෙළිකොප්ටර නියමුවා එම ස්ථානයේදීම මියගොස් ඇති බව ද පොලීසිය පවසයි.

ගුවන් යානය අනතුරට පත්වීම හුදකලා සිදුවීමක් බවත් ඉන් මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවත් පොලිසිය පවසයි.

හෙළිකොප්ටරය නියමුවාගේ අභිප්‍රාය මෙන්ම යානය රැගෙන ගිය ආකාරය ද නොදන්නා බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

සිද්ධියෙන් අනතුරුව හෝටලය තවමත් වසාදමා ඇත.

හෙළිකොප්ටර යානයේ හිමිකාර Nautilus Aviation කියා සිටියේ යානය අනවසරයෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.