May 15, 2026

ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම අද (16) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

මෙතෙක් ශ්‍රී ලාංකික PayPal ගිණුම් ‘මුදල් යැවීමට පමණක්’ (Send Only) සීමා වී තිබූ අතර, එමඟින් පරිශීලකයන්ට විදේශයන්ට ගෙවීම් කිරීමට හැකි වුවද අන්තර්ජාතික සේවාදායකයන්ගෙන් මුදල් මෙරටට ලබා ගැනීමට නොහැකි විය.

මෙම සීමාව ශ්‍රී ලාංකික නිදහස් වෘත්තිකයන්ට සහ ව්‍යාපාරවලට විශාල බාධාවක්ව පැවතිණි.

මෙම සේවාව පුළුල් කිරීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම ඉපයීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකි වන අතර, එමඟින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සහයෝගීතාව අනුව, ආරම්භයක් ලෙස, ලංකා බැංකුව (BOC), කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු මගින් PayPal සේවා මෙරට තුළ ක්‍රියාත්මක වනු ඇති අතර, ඉදිරි කාලයේදී අනෙකුත් බැංකුද මේ සමඟ එක්වනු ඇත.

1998දී කැලිෆෝනියාවේ ආරම්භ කරන ලද PayPal ආයතනය ලොව විශාලතම ඩිජිටල් ගෙවීම් වේදිකාවලින් එකක් වන අතර, එය රටවල් 200කට අධික සංඛ්‍යාවක පරිශීලකයන් මිලියන 430කට වඩා වැඩි පිරිසකට සේවා සපයමින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5කට වඩා වැඩි ගනුදෙනු ප්‍රමාණයක් සිදු කරයි.

එය ගෝලීය නිදහස් වෘත්තික වේදිකාවල මෙන්ම ඊ-වාණිජ්‍ය වේදිකාවලද බහුලව භාවිත වේ.

මෙම සේවාවන් ලබා ගන්නා ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අදාළ බැංකු විසින් ඉදිරියේදී සිය පාරිභෝගිකයන් දැනුවත් කරනු ඇති අතර, වැඩිදුර තොරතුරු අවශ්‍ය පුද්ගලයන්ට හෝ ව්‍යාපාරිකයන්ට තමන් ගනුදෙනු කරන බැංකුව සෘජුවම සම්බන්ධ කරගෙන ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකිය.

මේ සම්බන්ධ නිල නිවේදනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සිදු කෙරිණි.