October 6, 2024

පසුගිය පාලන සමයේ ක්‍රියාත්මක් වූ විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය ආන්දෝලනාත්මක වූවද මේ මොහොතේ පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟය සළකා බලා එම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සිදු කිරීමට නව පාලනය ද තීරණය කර තිබේ.

ටිරාන් අලස්ගෙන් පසු ඇමැති ධුරය භාරගත් මහජන ආරක්‍ෂක ඇමැති විජිත හේරත් පෙන්වා දෙන්නේ තේල්ස් සමාගමෙන් සිදු කිරීමට නියමිත එම මිලදී ගැනීම නැවැත්තුවොත් රටට විදේශ ගමන් බලපත්‍ර නොමැති වන නිසා එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව තේල්ස් සමාගම විසින් විදේශ ගමන් බලපත්‍ර 47,500කින් යුතු පළමු තොගය ඔක්තෝබර් 15 සිට 20 දක්වා කාලය තුළ සැපයීමට නියමිත බව ඔහු සඳහන් කරයි.

යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි එම ගමන් බලපත්‍රවල 100,000කින් යුතු දෙවැනි තොගය නොවැම්බර් මස අවසානයේදී අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත්, තේල්ස් සමාගම විසින් තවමත් නව විදේශ ගමන් බලපත්‍රයේ සාම්පල ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලබා දී නැත.

ඕනෑම නව විදේශ ගමන් බලපත්‍රයක් ලොව පුරා දේශසීමා බලධාරීන් විසින් පිළිගැනීමට පෙර මෙම පිටපත් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය වෙත කල්තියා අනුමැතිය සඳහා යැවිය යුතුය.

Thales DIS Finland Oy සහ එහි ශ්‍රී ලංකා නියෝජිත Just In Time (JIT) Technologies (Pvt) වෙත මෙම සැපයුමට අදාළ ටෙන්ඩරය පසුගිය රජය විසින් පිරිනමා තිබූ අතර එම ටෙන්ඩරයේ තවත් ලංසුකරුවකු වූ Epic Lanka (Pvt) Ltd එම තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ පවරන ලද නඩුවකට අදාළව එම ක්‍රියාවලිය අත්හිටුවා වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබිණි.

ඒ, Epic Lanka (Pvt) Ltd විසින් Thales DIS Finland Oy සමාගමට වඩා අඩු මිලකට තම සමාගම ලංසු ඉදිරිපත් කර ඇති බව පෙන්වා දීමෙන් පසුවය.

Thales DIS Finland Oy සමාගම පිටුවකට ඇමරිකානු ඩොලර් 0.104ක බැගින් පිටු 48ක විදෙස් ගමන් බලපත්‍රයක් යෝජනා කර තිබූ අතර Epic Lanka (Pvt) Ltd පිටුවකට ඇමරිකානු ඩොලර් 0.092 බැගින් පිටු 64ක විදෙස් ගමන් බලපත්‍රයක් යෝජනා කර තිබිණි.

එසේ තිබියදී විදේශ ගමන් බලපත්‍ර 750,000ක තොගය ලබා ගැනීම Thales DIS Finland Oy වෙතින් සිදු කිරීමේ හදිසි නියෝගයට ද පෙත්සම්කරුවන් විරුද්ධ වී තිබිණි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරන ආකාරයට සුදුසු සැපයුම්කරුවකුගෙන් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජයට සහ පාලක ජනරාල්වරයාට අවසර දෙමින් අභියාචනාධිකරණය අඟහරුවාදා අතුරු නියෝගය සංශෝධනය කිරීමෙන් පසුව පමණක් මෙම මිලදී ගැනීම සිදු කිරීමට අවසර ලැබී තිබේ.

කෙසේවෙතත් මිලියන පහක විද්‍යුත් ගමන් බලපත්‍ර මිලදී ගැනීමට එරෙහි වාරණ නියෝගය නොවැම්බර් 6 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර මීළඟ නඩු විභාගයට පෙර ඒ සඳහා විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කෙරිණි.

අධිකරණය මීට පෙර දුන් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයා අධිකරණයට අපහාස කර ඇති බවට එල්ල වූ චෝදනා යටතේ ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

42.31%
17.27%
32.76%